ගවයින්, මී ගවයින් සහ එළුවන් පාද හා මුඛ රෝගය (FMD) සහ ලම්පි ස්කින් රෝගය (LSD) වලින් ආරක්ෂා කිරීම සඳහා දිවයින පුරා නොමිලේ එන්නත් ලබාදීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි.
ස්වාභාවික ආපදා තත්ත්වයන් ඇතුළු අවස්ථාවලදී පශු සම්පත් අතර FMD සහ LSD වේගයෙන් පැතිරීම වැළැක්වීම, රටේ පශු සම්පත් සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සහ පශු සම්පත් ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණු වේ.
එන්නත් වැඩසටහන සඳහා රුපියල් මිලියන 152කට වැඩි මුදලක් වෙන් කර තිබේ.
ඒ අනුව FMD එන්නත් සඳහා රු. 79,275,000ක්ද, LSD එන්නත් සඳහා රු. 73,030,000ක්ද වෙන් කර ඇති අතර, සමස්ත වියදම රු. 152,305,000කි.
නොමිලේ ලබාදෙන එන්නත් දිස්ත්‍රික් මට්ටමින් ස්ථාපිත කර ඇති සියලුම ප්‍රාදේශීය පශු වෛද්‍ය මධ්‍යස්ථාන වෙත බෙදා හැර තිබේ.
ගවයින්, මී ගවයින් සහ එළුවන් ඇති කරන හිමිකරුවන් මෙන්ම ගොවීන් ද අදාළ පශු වෛද්‍ය මධ්‍යස්ථාන වෙත තම සතුන් රැගෙන ගොස් මෙම නොමිලේ එන්නත් ලබාදෙන ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටී.
රටේ පශු සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම වැඩසටහනට සක්‍රීයව සහභාගී වන ලෙසද බලධාරීන් ගොවීන්ගෙන් ඉල්ලා ඇත.


