කොළඹ වරාය නගරයේ චීන ජාතික කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකදී ප්‍රතිවාදී කණ්ඩායමේ සාමාජිකයෙකු ඝාතනය කළ බවට සැක කෙරෙන චීන ජාතිකයන් දෙදෙනෙකු රටින් පලා යාමට උත්සාහ කිරීමේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 34 සහ 38 වයස්වල පසුවන මෙම සැකකරුවන් දෙදෙනා බ්‍රහස්පතින්දා (23) පස්වරුවේ ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් විසින් පිටත්වීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඔවුන් කොළඹ වරාය පොලිසිය වෙත භාරදී ඇත.
මෙම පුද්ගලයන් දෙදෙනා පස්වරු 4.30ට පමණ කටුනායක ගුවන්තොටුපළට පැමිණ ඇත්තේ ඉන්දියාවේ මුම්බායි හරහා සිංගප්පූරුව බලා ගමන් කරන Air India AI-2275 ගුවන් යානයට ගොඩවීමට බව පොලිසිය සඳහන් කළේය.
ඔවුන්ගේ අවසන් ගමනාන්තය ලෙස සිංගප්පූරුව සඳහන් කරමින් ගුවන් ටිකට්පත් මිලදීගෙන තිබූ බවද වාර්තා වේ.
ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරු මත, සැකකරුවන් රටින් පිටවීමට උත්සාහ කරන බව අනාවරණය කරගෙන පිටත්වීමේ පර්යන්තයේ නිරීක්ෂණ මෙහෙයුමක් සිදු කර ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ වරාය පොලිසිය විසින් සිදු කරමින් පවතින බව පොලිසිය සඳහන් කළේය.


