කටුනායක ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඉදිරි ගුවන් සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා දිවයින පුරා පිහිටි දේශීය ගුවන්තොටුපළ ද සංවර්ධනය කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ 2027 අයවැය යෝජනා පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී කටුනායක ගුවන්තොටුපළේ දැනට ක්‍රියාත්මක සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කළ ජනාධිපතිවරයා, ගුවන්තොටුපළ අවට මාර්ග ජාලය ඇතුළු ඊට සහාය වන යටිතල පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙන්ම ප්‍රාදේශීය ගුවන්තොටුපළවල ද ගුවන් මගීන්ට වඩාත් පහසු හා කාර්යක්ෂම සේවාවක් සැලසීම සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

මෙම සාකච්ඡාවට වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරු සහභාගී වූහ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් රසල් අපොන්සු, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. එස්. මංගල, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ. කේ. සේනාරත්න, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන් ඇතුළු අදාළ ආයතනවල සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *