ඔලුවිල් ප්‍රදේශයේ අන්තවාදී උපකාරක පන්තියක් වටලයි

අන්තවාදී දේශන පැවැත්වු පුද්ගලයින් දෙදෙනෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ළමුන් සඳහා මුලධර්මවාදී හා අන්තවාදී දේශන පවත්වා ඇති බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවස සිටියේ සැකකරුවන් ඔලුවිල් ප්‍රදේශයේ දී ඊයේ දින අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් 30 හැවිරිදි හා 39 හැවිරිදි ඔලුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

විදේශීය අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම්වලට සාමාජිකයින් බඳවා ගැනීමට පවත්වන දේශනවල අඩංගු කරුණු සැකකරුවන් විසින් මෙරට සිටින ළමුන් වෙත ලබා දී ඇති බවට වාර්තා වී තිබේ.

ඔලුවිල් ප්‍රදේශයේ 2018 වසරේ දෙසැම්බර් මාසයේ දී එම පන්ති පවත්වා ඇති අතර, සහභාගී වු සිසුන්ට ඔවුන්ගේ කැමැත්ත නොමැතිව විවිධ ශාරීරික අභ්‍යාස ලබාදුන් බවට ද හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. අභ්‍යාසවලට අකමැති වු සිසුන්ට පහරදීම් ද සිදුකර ඇති අතර, ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් එම පහරදීම්වලට ලක්වු සිසුන් සොයා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ ස්වයං ඝාතකයෙක් වූ සහරාන් හෂීම්ගේ අනුදැනුම මත එම අන්තවාදී පන්ති පැවැත්වු බවට එම අන්තවාදීන්  අනාවරනය කර ඇත. රැඳවුම් නියෝග මත ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *