ඔක්තෝබර් 6 සිට 9 දක්වා පාර්ලිමේන්තුව රැස්වේ: දූෂණ විරෝධී පනත් සංශෝධනය සහ යෝජනා 7ක් විවාදයට

ඔක්තෝබර් 6 වැනිදා සිට 9 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, විදේශ විනිමය රෙගුලාසි, රාජ්‍ය ණය කළමනාකරණය, දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සහ පෞද්ගලික මන්ත්‍රී යෝජනා 7ක් ඇතුළු කරුණු රැසක් එම සතියේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති රැස්වීමකදී මෙම දින හතරක පාර්ලිමේන්තු සතියේ කටයුතු තීරණය කර ඇති බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, ඔක්තෝබර් 6 වැනි අඟහරුවාදා පෙරවරු 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග 22(1) සිට 22(6) දක්වා යටතේ පාර්ලිමේන්තු කටයුතු සිදුකෙරෙන අතර, පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ. පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සලකා බැලීමට නියමිතය.

අනතුරුව පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා විදේශ විනිමය පනත යටතේ නිකුත් කර ඇති 2493/36 සහ 2493/37 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල සඳහන් රෙගුලාසි දෙකක්, එම පනත යටතේ නිකුත් කර ඇති 2493/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් නියෝගයක් සහ රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ ඉදිරිපත් කර ඇති යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතය.

එදින පස්වරු 5.00 සිට 5.30 දක්වා රජය විසින් ඉදිරිපත් කරන කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතය.

ඔක්තෝබර් 7 වැනි බදාදා පෙරවරු 9.30 සිට 10.00 දක්වා සාමාන්‍ය පාර්ලිමේන්තු කටයුතු සිදුකෙරෙන අතර, පෙරවරු 10.00 සිට 10.30 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසීමටද, පෙරවරු 10.30 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ප්‍රශ්න සඳහාද කාලය වෙන් කර තිබේ. පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සලකා බැලීමට නියමිතය.

ඉන් අනතුරුව පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කරන කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතය.

ඔක්තෝබර් 8 වැනි බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9.30 සිට 10.00 දක්වා පැවැත්වෙන අතර, පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ප්‍රශ්න සහ පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සලකා බැලීමට නියමිතය.

එදින පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර, පස්වරු 5.00 සිට 5.30 දක්වා කල් තැබීමේ වේලාවේදී ප්‍රශ්න විමසීමට නියමිතය. මෙම පනත් කෙටුම්පත 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කර තිබේ.

ඔක්තෝබර් 9 වැනි සිකුරාදා පෙරවරු 9.30 සිට 10.00 දක්වා සාමාන්‍ය පාර්ලිමේන්තු කටයුතු සිදුකෙරෙන අතර, පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ප්‍රශ්න සහ පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සලකා බැලීමට නියමිතය.

අනතුරුව පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රී යෝජනා 7ක් විවාදයට ගැනීමට නියමිතය. ඒවා මෙසේය:

  • පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් දියගම වනාන්තරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
  • චිත්‍රාල් ප්‍රනාන්දු මහතා විසින් පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය සේවා වැඩි කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
  • අමිර්තනාදන් අඩைக்கලනාදන් මහතා විසින් 1983 කළු ජූලියේ සිදුවූ ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සත්‍යය අනාවරණය කිරීම, සිදුවූ හානි තක්සේරු කිරීම සහ එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා යළි ඇතිවීම වැළැක්වීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
  • ලසිත භාෂණ ගමගේ මහතා විසින් මාර්ග රක්ෂිත තුළ ගස් රෝපණය කිරීම, විද්‍යාත්මකව කළමනාකරණය කිරීම සහ නඩත්තු කිරීම සඳහා ක්‍රමවත් ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
  • හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා විසින් ශ්‍රී ලංකාවේ සියලුම අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල පීඨ බවට පත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
  • චමින්ද විජේසිරි මහතා විසින් ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත්වූ පුද්ගලයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
  • රවි කරුණානායක මහතා විසින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම් දේශපාලනීකරණයෙන් තොර කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

එදින පස්වරු 5.00 සිට 5.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කරන කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමෙන් දින හතරක පාර්ලිමේන්තු සභාවාරය අවසන් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *