එප්පාවල ලංකා පොස්පේට් සමාගම රුපියල් මිලියන 110ක වටිනාකමින් යුත් නව මෙහෙයුම් වාහන සහ යන්ත්‍රෝපකරණ එක්කරමින් සිය නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා තිබේ.
නව වාහන සහ යන්ත්‍රෝපකරණ නිල වශයෙන් මෙහෙයුම් සඳහා එක් කිරීම කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම ආයෝජනය යටතේ රුපියල් මිලියන 79ක් වටිනා රෝද සහිත පස් පැටවීමේ යන්ත්‍රයක්, රුපියල් මිලියන 18ක් වටිනා ටිපර් රථයක් සහ රුපියල් මිලියන 13ක් වටිනා ජෝන් ලිෆ්ට් යන්ත්‍රයක් සමාගමට එක්කර තිබේ.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ මෙම අවස්ථාවේදී අලුතින් බඳවාගත් රියැදුරන් වෙත පත්වීම් ලිපිද භාරදුන් බවයි. එමගින් සමාගමේ සේවක බලකාය තවදුරටත් ශක්තිමත් කර තිබේ.
පසුගිය මාස 20ක කාලය තුළ සමාගම අභ්‍යන්තර වශයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත්, ඒ යටතේ රුපියල් මිලියන 76ක් වැය කරමින් නිමි භාණ්ඩ ගබඩාවක් ඉදිකිරීම, නවීන පුහුණු යන්ත්‍රයක් ස්ථාපනය කිරීම සහ අලෙවි දුරකථන සේවාවක් ඇතුළත් කරමින් සමාගමේ නිල වෙබ් අඩවිය නවීකරණය කිරීම සිදුකර ඇති බවත් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඉදිරි කටයුතු සඳහා 2026 සිට 2030 දක්වා ක්‍රියාත්මක කිරීමට නව උපායමාර්ගික සැලැස්මක්ද සමාගම හඳුන්වාදී තිබේ. එහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ සමාගමේ නිෂ්පාදනවල උපරිම සිල්ලර මිල ස්ථාවරත්වය සහතික කිරීමයි.
ඒ යටතේ ව්‍යවසාය සම්පත් සැලසුම්කරණයේ ආදර්ශ පද්ධතියක් හඳුන්වාදීම, ගොවීන්ට දැරිය හැකි මිලකට පොහොර ලබාදීම සහ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීම සඳහා අලෙවි නියෝජිත ජාලයක් ලියාපදිංචි කිරීම ඇතුළු පියවර ගැනීමට නියමිතය.
මෙම සැලැස්ම මගින් පොහොර මිල ස්ථාවර කිරීමටත්, දිවයින පුරා සමාගමේ නිෂ්පාදන බෙදාහැරීමේ ප්‍රවේශය පුළුල් කිරීමටත් හැකි වනු ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.


