උත්සව සඳහා සහභාගි කරගත හැකි ප්‍රමාණය 50 දක්වා සීමා කෙරේ

බිතාන්‍යයේ පැතිරී යන B.1.1.7 නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරට පැතිර යෑම වැළැක්වීමේ අරමුණින් මංගල, අවමංගල උත්සව, ප්‍රියසම්භාෂණ ඇතුළු සියලුම උත්සව සඳහා ජනතාව රැස්කිරීම දැඩි ලෙස සීමා කිරීමට හා ඒ සම්බන්ධයෙන් පෙර පැවැති මාර්ගෝපදේශ මාලාව බලාත්මක කිරීමටත් ඊයේ (15) තීරණය කළ බව වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.

මෙම තීරණයත් සමගම මංගල උත්සව සඳහා උපරිම වශයෙන් සහභාගි කරගත හැක්කේ 50 දෙනකු පමණක් වන අතර අවමංගල්‍ය කටයුතු අවම පිරිසකගේ සහභාගිත්වයෙන් පැය 24ක් ඇතුළත සිදුකළ යුතු බවටද තීරණය කළ බව අමාත්‍යවරිය විසින් පෙන්වා දෙන ලදී.

එමෙන්ම උපන්දින සාද, ප්‍රියසම්භාෂණ ඇතුළු ඕනෑම උත්සවයක් උපරිමය 50ක් වන පරිදි සහභාගිත්වය සීමා කෙරෙන බවත් ඒ සෑම අවස්ථාවකදීම 100%ක්ම අදාළ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය බවත් රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.

මීට අමතරව රාත්‍රි සමාජ ශාලාවල, හෝටල්වල ප්‍රියසම්භාෂණ ඇතුළු පිරිස් රැස්වෙන සියලුම උත්සව සඳහා පෙර පැවැති මාර්ගෝපදේශ මාලාව යළි බලාත්මක කරන බවයි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ.

නව වෛරස් ප්‍රභේදය මේ දක්වා රට තුළ ප්‍රබලව පැතිරෙන තත්ත්වයක් නොමැති බවත් එය කිසිසේත්ම පැතිරයෑමට ඉඩ නොලැබෙන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට සියලු සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබාදී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

හංවැල්ල, බියගම, අවිස්සාවේල්ල, වවුනියාව යන ප්‍රදේශවලින් නව වෛරස් ප්‍රභේදය සහිත කිහිපදෙනකු ගැන වාර්තා වුවද ඔවුන්ගෙන් සමාජයට නව වෛරස් ප්‍රභේදය පැතිරයෑම වැළැක්වීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඇය සඳහන් කළාය.

විදේශ රටවලින් පැමිණෙන සියලුම දෙනා දින 14ක නිරෝධායනයට සහ PCR පරීක්ෂණවලට අනිවාර්යයෙන්ම යොමුකරන බවද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *