ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් රාජ්නාත් සිංගෙන් ගිවිසුම් 3කට අත්සන්

ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද ශ්‍රී ලංකා රජය සමඟ ප්‍රධාන අවබෝධතා ගිවිසුම් තුනකට අත්සන් තැබීය.

ඒ අනුව දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අදාළ ගිවිසුම්වලට එකඟතාව පළ කර තිබේ.

මෙම ගිවිසුම් අතර ඉන්දීය රජයේ ප්‍රදානයක් යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු L70 ගුවන් යානා නාශක තුවක්කු නවීකරණය කිරීම සම්බන්ධ සහයෝගීතාවද ඇතුළත් වේ.

එමෙන්ම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යාල අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකටද අත්සන් තබා ඇත.

දෙරටේ ජාතික ශිෂ්‍ය භට බලකා අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා වන තවත් අවබෝධතා ගිවිසුමකටද මෙහිදී අත්සන් තැබීය.

මෙම ගිවිසුම්වලට අත්සන් තැබීම සිදුවූයේ රාජ්නාත් සිං මහතා අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවීමෙන් අනතුරුවය.

එම හමුවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමට ඇති කැපවීම නායකයන් දෙදෙනා විසින් යළි තහවුරු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *