ඉදිරි වගා කන්න හයක් තුළ වී අස්වැන්න දෙගුණ කර ගැනීමේ ඉලක්කයක්

මේ වන විට ලබන වී අස්වනු ප්‍රමාණය දෙගුණ කර ගත යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී ඇති ඉලක්කය ඉදිරි වගා කන්න හයක් තුළ සපුරා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා පැවසීය.

මේ සඳහා තාක්ෂණික පැකේජයක් හඳුන්වා දී ඇති බවත් සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයෙන් ඔබ්බට ගොස් වැඩිවන ආහාර අවශ්‍යතාව සපුරාලීමේ වගකීම කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සාර්ථකව කළමනාකරණය කරමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

කෘෂි කර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමේ ප්‍රතිලාභ මේ වන විටත් ලැබෙමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජානක ධර්මකීර්ති මහතා මෙසේද පැවසීය,

සම්ප්‍රදායානුකූල කෘෂිකර්මාන්තයෙන් ඔබ්බට ගොස් වැඩි වන ආහාර අවශ්‍යතාව සපුරාලීම කෘෂිකර්ම අමාත්‍යාංශය සතු වගකීමක් වනවා. එය මේ වන විට සාර්ථකව කළමනාකරණය කරමින් සිටින බව කිව යුතුයි. විශේෂයෙන් මේ වන විට ලබන වී අස්වනු ප්‍රමාණය දෙගුණ කර ගත යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී ඇති ඉලක්කය ඉදිරි වගා කන්න හය තුළ සපුරා ගැනීමට අප අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා කෘෂි නවීකරණ වැඩසටහන යටතේ අප විසින් තාක්ෂණික පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. තවද පුරන් කුඹුරු ඇතුලු සියලු කුඹුරු වී වගාවට යොදා ගැනීමටත් සෙසු

වගා බිම් වෙනත් වගාවන්ට යෙදවීමටත් අප කටයුතු කර තිබෙනවා. මේ වන විට වී වගාවේ සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් රටට අවශ්‍ය සහල් මෙට්‍රික් ටොන් අට ලක්ෂයක අස්වැන්නක් ලබා ගෙන තිබෙන බවද කිව යුතුයි.

වී මිළ සම්බන්ධයෙන් අමාත්‍යාංශයක් ලෙස මැදිහත් වීමට හැකියාවක් නැහැ. නමුත් විවෘත ආර්ථිකයේදී මිල පවත්වා ‍ගැනීම සාධාරණව සිදු වනු ඇති බව රජය බලාපොරොත්තු වෙනවා. මිල ඉහළ යාම වරක් දෙවරක් සිදු වුනාට රජයට මැදිහත් විය නොහැකි වුනත් එය දිගින් දිගටම සිදු වෙනවා නම් ඊට මැදිහත් විය හැකියි. මේ වන විට සහල් වර්ග දෙකක පමණක් තොග පවත්වා ගෙන ගියත් ඉදිරියේදී සියලුම සහල් වර්ගවල ආරක්ෂිත තොග පවත්වා ගනිමින් වෙළෙඳපොලට නිකුත් කිරීමට කටයුතු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *