විදුලි වාහන සඳහා කොළ පැහැති පසුබිමක් සහිත නව අංක තහඩු නිකුත් කිරීමට කටයුතු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික ගුවන් හමුදා එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ, එම කොළ පැහැති අංක තහඩු විදුලි වාහන සඳහා නීත්‍යානුකූලව වලංගු වන බවයි.
අනෙකුත් වාහන සඳහා මෙතෙක් භාවිත කරන සුදු සහ කහ පසුබිම් සහිත අංක තහඩු තවදුරටත් නිකුත් කරන බවද ඔහු සඳහන් කර තිබේ.
මේ අතර, ලියාපදිංචි කර ඇති වාහන 88,740ක් සඳහා නව අංක තහඩු සකස් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
එම තහඩු අතරින් 56,233ක් 2026 ජුනි 10 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාලය තුළ ලියාපදිංචි කළ වාහන සඳහා වන අතර, තවත් අංක තහඩු 32,507ක් 2023 සහ 2024 වසරවල ලියාපදිංචි කළ වාහන සඳහා සකස් කර තිබේ.
අදාළ වාහනවල හිමිකරුවන්ට නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයට පැමිණ තම වාහනවල අංක තහඩු ලබාගන්නා ලෙස දැනුම් දී තිබේ.


