2009 යුද සමයේ දිවි පිදූ රණවිරුවෙකුගේ පවුලේ සුවදුක් විමසීමට යුද හමුදාපති යයි

2009 මැයි මාසයේදී යුද්ධයේ අවසන් අදියරේදී දිවි පිදූ මාණ්ඩලික සැරයන් එච්. පී. එස්. බණ්ඩාර මහතාගේ පවුලේ සාමාජිකයන් හමුවීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා හේවාදිවෙල, දුල්මුන ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවස වෙත පසුගියදා ගොස් තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේ, මාණ්ඩලික සැරයන් බණ්ඩාර මහතා විජයබාහු පාබල රෙජිමේන්තුවේ 4 වැනි බලඇණියට අනුයුක්තව සේවය කළ රණවිරුවෙකු බවයි.

2009 මැයි 17 වැනිදා නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව පැවති තීරණාත්මක සටනකදී ඔහු සුවිශේෂී ධෛර්යයක් සහ නායකත්වයක් ප්‍රදර්ශනය කර තිබේ.

සතුරු ප්‍රහාර හමුවේ නොසැලී සිටිමින් තම සෙසු සෙබළුන් ආරක්ෂා කිරීම සඳහා තම ජීවිතය පිළිබඳවද නොසිතා කටයුතු කළ ඔහු, එහිදී දිවි පිදූ බව යුද හමුදාව සඳහන් කරයි.

ඔහුගේ වීරත්වය සහ සේවය අගයමින් මරණයෙන් පසු පරම වීර විභූෂණය සහ රණ සූර පදක්කම ඔහු වෙත පිරිනමා තිබේ.

යුද හමුදාපතිවරයාගේ මෙම සංචාරයේදී මාණ්ඩලික සැරයන් බණ්ඩාර මහතාගේ බිරිඳ වන දර්ශනී නයනා වීරගොඩ මහත්මිය ඇතුළු පවුලේ සමීප සාමාජිකයන් හමුවී ඔවුන්ගේ වත්මන් සුවදුක් මෙන්ම අනාගත අවශ්‍යතා පිළිබඳවද විමසා තිබේ.

රණවිරුවාගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ අඛණ්ඩ සහාය තවදුරටත් ලබාදෙන බවටද යුද හමුදාපතිවරයා එහිදී සහතික වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *