ඉන්දියාවෙන් ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුණු ඔක්ස්ෆරඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ පහ අද (29) සිට මෙරට ජනතාවට එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ඒ අනුව කොළඹ ජාතික රෝහල ඇතුළු තෝරාගත් රෝහල් 06ක සෞඛ්‍ය සේවකයන්ට එම එන්නත ලබා දීමට නියමිතව තිබේ.
ජාතික රෝහලට අමතරව රාගම ශික්ෂණ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, හෝමාගම මූලික රෝහල, මුල්ලේරියාව රෝහල සහ අංගොඩ බෝවන රෝග ප්‍රතිකාර රෝහල යන රෝහල්වල සෞඛ්‍ය සේවකයන්ගෙන් 25%කට එම එන්නතෙහි පළමු මාත්‍රාව අද දිනයේ ලබා දෙනු ඇත. දින හතරක් ඇතුළත සියලූම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට මෙම එන්නත ලබාදීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා පවසා සිටින්නේ. සෞඛ්‍ය ආරක්ෂක අංශ ඇතුළු ලක්ෂ දෙකහමාරක පිරිසකට මෙම එන්නත ලබාදීමට නියමිතය.
ඇස්ට්‍රා සෙනිකා කොවිඞ් මර්දන එන්නත පළමුව භාවිත කිරීමේ වැඩසටහන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරු 8.30 ට අයි.ඩී.එච්. රෝහලේදී ආරම්භ වේ.