අවසන් දින 10 තුළ කොවිඩ් මරණ 296ක්

ඊයේ දිනයෙන් අවසන් දින 10ක කාලය තුළ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 300කට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛණ පෙන්වාදෙයි.

ඒ අනුව මැයි මස 22 වනදා සිට ඊයේ දිනය දක්වා මෙරට තුළ සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 296 කි.

ඒ අනුව පසුගිය දින 10ක කාලය තුළ එක් දිනකදී දල වශයෙන් මරණ 30 ක් පමණ සිදුව තිබේ.

මින් වැඩිම මරණ සංඛ්‍යාවක් මැයි 25 සහ 27 යන දෙදින තුළ සිදුව ඇති අතර එම සංඛ්‍යාව 36 කි.

මීට අමතරව මැයි මස 23වනදා සහ 26වනදා මරණ 32 බැගින් වාර්තා වී ඇත.

මැයි මස 29 වනදා මරණ 30 ක්, 28 වනදා මරණ 28 ක් සහ 30 වනදා මරණ 26 ක් වාර්තා වී තිබේ.

එම කාලය තුළ අවම මරණ සංඛ්‍යාවක් ජුනි මස පළමුවනදා සිදුව ඇති අතර එම සංඛ්‍යාව 5කි.

මේ අතර පසුගිය දිනවල සිදුකෙරුණු PCR පරීක්ෂණවලට අදාළව අද (03) දිනයේද කොවිඩ් ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අධි අවදානම් ලෙස හඳුනාගත් ධීවර නිවාස‍, මහල් නිවාස සහ වතු නිවාස ආශ්‍රිතව සිදුකරන ලද PCR පරීක්ෂණ 413ක ප්‍රතිඵල අනුව ඉන් පුද්ගලයින් 162 කු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

හඳුනාගත් ආසාදිතයින්ගෙන් 35 දෙනෙකු බේරුවල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *