පුරප්පාඩුව පවතින ග්‍රාමසේවා වසම් 2002ක් වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බවත් එළඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ඔවුන් සේවයේ පිහිටුවීමට කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනඟන වැඩ පිළිවෙල ඔස්සේ තවත් වසර දෙකක් හෝ ඉදිරියට ගමන් කිරීමට හැකි වුවහොත් බිඳවැටුණු ආර්ථිකය ගොඩනඟමින් සංවර්ධිත රටක් නිර්මාණය කළ හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,
පසුගිය සමයේ පැවති අර්බුද අවසන් වෙමින් මේ වන විට ආර්ථික හා සමාජීය ස්ථාවරත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ සඳහා අප අමාත්‍යාංශය ද විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. දිස්ත්‍රික් මට්ටමින් ආහාර සුරක්ෂිතතා, පෝෂණ කමිටු නිර්මාණය කිරීමට අප කටයුතු කළා. දරිද්‍රතා සහිත පවුල් ලක්ෂ විස්සක් සඳහා ඇස්වැසුම ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකළා. විමධ්‍යගත අයවැය හරහා ග්‍රාමීය සංවර්ධනය යළි නඟාසිටුවන්න ද මේ වන විට කටයුතු කරමින් සිටිනවා.
ඒ වගේම පුරප්පාඩුව පවතින ග්‍රාමසේවා වසම් 2002ක් වෙනුවෙන් ග්‍රාමසේවා නිලධාරීන් බඳවා ගැනීම සඳහා පසුගිය 13,14 යන දිනවල සම්මුඛ පරීක්ෂණ සිදුකළා. අද (15) දිනයේ ද ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. මේ හරහා බඳවා ගන්නා ග්‍රාම නිලධාරීන් එළැඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර සේවයේ පිහිටුවීමට අප කටයුතු කරනවා.
එමෙන්ම ග්‍රාම නිලධාරීන්ගේ පවතින ගැටලු පිළිබඳව ඊයේ (14) දිනයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සංගම් සමඟ සාකච්ඡා කළා. එහිදී ඔවුන් විසින් ගමන් වියදම්, කාර්යාල දීමනා සම්බන්ධයෙන් වූ යෝජනාවක් ඉදිරිපත් කළා. අප ඒ වෙනුවෙන් දැනටමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.