සෞදි අරාබියේ මරණ දඬුවමට ලක්ව සිටින අනෝජන් සිවරාසා නිදහස් කර ගැනීමට මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට ඉල්ලීමක්

සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින ශ්‍රී ලාංකික අනෝජන් සිවරාසා මහතා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම ලබාදෙන ලෙස ඉල්ලා රාමඤ්ඤ මහා නිකාය සහ අමරපුර මහා නිකායේ මහානායක හිමිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් භාරදී තිබේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුල්වැවේ විමලබුද්ධි හිමියන් සහ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති හිමියන් විසින් මෙම සංදේශය ඒකාබද්ධව ඉදිරිපත් කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ සැප්තැම්බර් 30 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් එම සංදේශය ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහතා වෙත භාරදුන් බවයි.

මේ අතර, මෙම කාරණය සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඉල්ලා හින්දු ප්‍රජාව වෙනුවෙන්ද වෙනම සංදේශයක් භාරදී තිබේ. එය හින්දු පූජකවරුන්ගේ සංගමයේ සභාපති සහ සමස්ත ලංකා හින්දු සංස්කෘතික සභාවේ සභාපති ආචාර්ය ශිවශ්‍රී කේ. වී. කේ. වෛතිශ්වර කුරුක්කල් මහතා විසින් භාරදී ඇත.

සෞදි අරාබියේ මරණ දඬුවමට මුහුණදී සිටින අනෝජන් සිවරාසා මහතා නිදහස් කර ගැනීම සඳහා රජයේ මැදිහත්වීම ලබාදෙන ලෙස මෙම සංදේශ මගින් ඉල්ලා තිබේ. ශ්‍රී ලංකා රජය මේ වන විටත් රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ සෞදි බලධාරීන් සමඟ මෙම කාරණය සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය මීට පෙර සඳහන් කර තිබිණි.

මෙම අවස්ථාවට පූජ්‍ය පාගොඩ ජනතාවංශ හිමි, පූජ්‍ය වේපතෙයිර ධම්මසිරි හිමි, හින්දු පූජකවරුන්ගේ සංගමයේ ශිවශ්‍රී කුගදාස කුරුක්කල් මහතා, ජනාධිපති නීතිඥ තනුජා නවරත්න මහත්මිය සහ සමාජ ක්‍රියාකාරී ආර්. ඒ. අමිල සංජීව මහතාද සහභාගී වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *