ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරු සෝනල් දිනූෂ දැක්වූ විශිෂ්ට දස්කම් සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) උප සභාපති රාජීව් ශුක්ලා ඉහළ ප්‍රශංසාවක් පළ කර තිබේ.
ඔහු සෝනල් දිනූෂව ඉන්දීය ක්‍රිකට් පුරාවෘත්තයක් වන සචින් ටෙන්ඩුල්කාර් සමඟද සසඳා තිබීම විශේෂත්වයකි.
“ශ්‍රී ලංකාවේ මේ සෝනල් විශිෂ්ට ක්‍රීඩකයෙක්. ටෙන්ඩුල්කාර් වගේ පෙනෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ට ටෙස්ට් ක්‍රීඩකයෙකු විය හැකියි,” යනුවෙන් ශුක්ලා සමාජ මාධ්‍ය සටහනක් තබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද එයට ටැග් කර තිබේ.
ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියේදී දිනූෂ අඛණ්ඩව විශිෂ්ට දස්කම් දක්වමින් පිට පිටම සිව්වැනි වරටත් ලකුණු 50ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් රැස්කර තිබේ.
ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදී දිනූෂ ලකුණු 100ක් සහ 84ක් රැස්කළ අතර, කොළඹ පැවති දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 103ක් ලබා ගත්තේය.
අනතුරුව තරගයේ අවසන් දිනයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදීද තවත් අර්ධ ශතකයක් වාර්තා කළ ඔහු, ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයෙන් ගැලවීමට ශ්‍රී ලංකාව දැරූ උත්සාහයේදී පසුපෙළ පිතිකරුවන් සමඟ එක්ව දැඩි ප්‍රතිරෝධයක් ලබා දුන්නේය.
දිනූෂගේ අඛණ්ඩ දස්කම් හේතුවෙන් ඔහු මෙම තරගාවලියේ ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු බවට පත්ව ඇති අතර, ඉන්දීය දඟපන්දු ප්‍රහාරයට සාර්ථකව මුහුණදීමට ඔහු දැක්වූ හැකියාවද හිටපු ක්‍රීඩකයින් සහ ක්‍රිකට් විස්තර විචාරකයින් රැසකගේ ප්‍රශංසාවට ලක්ව තිබේ.


