Wednesday, 4 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

සූර්ය බලශක්ති උපපොළවල් දෙකකට නව කොන්ත්‍රාත්තුවක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ශ්‍රී ලංකාවේ ජාතික විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘සාම්පූර් – කප්පල්තුරෙයි විදුලි සම්ප්‍රේෂණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය’ සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් තීරණයට අනුව, බදු රහිතව අමෙරිකානු ඩොලර් මිලියන 4.15ක්, යුරෝ මිලියන 0.78ක් සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,096.08ක වටිනාකමකින් යුත් මෙම කොන්ත්‍රාත්තුව ‘සීලෙක්ස් ඉංජිනියරිං පුද්ගලික සමාගම’ (Ceylex Engineering) සහ ‘ෂිංනෙන්ග් ඉලෙක්ට්‍රික් පවර් කන්ස්ට්‍රක්ෂන්’ (Xingneng Electric Power Construction) සමාගම්වල ඒකාබද්ධ හවුල්කාරිත්වය වෙත පිරිනමා ඇත.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා සාම්පූර් 220(132)/33 kV සූර්ය බලශක්ති ජාල උපපොළ ඉදිකිරීම සහ කප්පල්තුරෙයි 220(132)/33 kV සූර්ය බලශක්ති ජාල උපපොළ පුළුල් කිරීම සිදුකිරීමට නියමිතය.

ජාතික විදුලිබල පද්ධතියේ උපරිම කාර්යක්ෂමතාව සහ ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය ඉවහල් වනු ඇත. ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඉදිරිපත් වූ ලංසු හය (06) ඇගයීමෙන් අනතුරුව, බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව අවම සාරභූත ප්‍රතිචාරාත්මක ලංසුකරු වෙත මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමිණි.

ඔබේ අදහස