ශ්‍රී ලංකාවේ සියලු බන්ධනාගාර ආවරණය වන පරිදි ගැටලු කල්තියා හඳුනාගෙන හදිසි අවස්ථාවලදී වඩාත් කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීම සඳහා සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
බදාදා කළුතර බන්ධනාගාරයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙම යාන්ත්‍රණය මගින් රාජ්‍ය ආයතන එකිනෙකා සමඟ සම්බන්ධීකරණය කර හදිසි අවස්ථාවලට ප්‍රතිචාර දැක්වීම මෙන්ම රැඳවියන්ගේ සුබසාධනය වැඩිදියුණු කිරීම අරමුණු කරන බවයි.
ප්‍රාදේශීය රාජ්‍ය ආයතන නිලධාරීන්ගෙන් සමන්විත කමිටු අවම වශයෙන් මසකට වරක් රැස්වී පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිතය.
මෙම යාන්ත්‍රණය ස්ථාපිත කිරීම මගින් බන්ධනාගාර තුළ මතුවන ගැටලු කල්තියා හඳුනාගැනීමට හැකි වන බව අමාත්‍යවරයා පැවසීය.
රැඳවියන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය ආරක්ෂා කිරීම, පහසුකම් වැඩිදියුණු කිරීම සහ බන්ධනාගාර නිලධාරීන්ගේ අවශ්‍යතා සපුරාලීම කෙරෙහිද මෙම වැඩපිළිවෙළ යටතේ අවධානය යොමු කෙරේ.
එමෙන්ම බන්ධනාගාර සම්බන්ධ ගැටලු පිළිබඳව රැඳවියන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට පැමිණිලි හෝ කරුණු ඉදිරිපත් කිරීමට හැකි ක්‍රමවේදය වඩාත් විධිමත් කළ යුතු බවද නානායක්කාර මහතා සඳහන් කළේය.
බන්ධනාගාරවල තදබදය අවම කිරීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙස රජයේ රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාගැනීම සඳහාද පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා පැවසීය.
ප්‍රාදේශීය රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කළුතර, ගාල්ල, බූස්ස සහ මාතර බන්ධනාගාර සඳහා සම්බන්ධීකරණ කමිටු ද බදාදා ස්ථාපිත කර තිබේ.
කළුතර බන්ධනාගාරයේ සංචාරයක නිරත වූ අමාත්‍යවරයා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතුද නිරීක්ෂණය කළ අතර, කාන්තා රැඳවියන් හමුවී ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳවද සාකච්ඡා කළේය.


