පොල් වගාවට සිදුවන හානි සඳහා රක්ෂණ ක්‍රමයක් හෝ වන්දි ක්‍රමවේදයක්

පොල් වගාවට සිදුවන හානි සඳහා රක්ෂණ ක්‍රමයක් හෝ සුදුසු වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

පොල් වගාවට සිදුවන හානි සඳහා මේ වන විට විධිමත් වගා වන්දි ක්‍රමවේදයක් නොමැති බැවින්, එවැනි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමඟ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාවේ තෙවැනි රැස්වීම පාර්ලිමේන්තුවේදී පැවැති අවස්ථාවේදීය.

එහිදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් වැවිලි ක්ෂේත්‍රයට බලපාන ගැටලු රැසක් පිළිබඳව අවධානය යොමු කර තිබේ.

පොල් වගාවට බලපා ඇති සුදු මැස්සාගේ ව්‍යාප්තිය, තේ සහ කිතුල් කර්මාන්ත මුහුණ දෙන ගැටලු මෙන්ම මලයහ ප්‍රජාව මුහුණ දෙන නිවාස හා අධ්‍යාපන ගැටලු පිළිබඳවද එහිදී සාකච්ඡා කර ඇත.

ජනතාවට සෘජුව බලපාන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට සහ ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබේ.

වැවිලි ක්ෂේත්‍රයට අදාළ නිලධාරීන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සඳහා සහභාගී වීම අනිවාර්ය බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. වැවිලි ප්‍රජාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ක්ෂේත්‍ර මට්ටමින් සක්‍රීයව මැදිහත්වීම අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර, අමාත්‍යාංශය විසින් මෑතකදී ආරම්භ කළ “පොල් ගම්මාන 250” වැඩසටහන සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුව තිබේ. එම වැඩසටහන තවත් ප්‍රදේශ රැසකට ව්‍යාප්ත කරන ලෙසද මන්ත්‍රීවරුන් ඉල්ලා තිබේ.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධ ආයතනවල නිලධාරීන් මෙම රැස්වීමට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *