ශ්‍රී ලංකාවේ නව ඊශ්‍රායල තානාපති සමාන් චන්ද්‍රසිරි අක්තපත්‍රය භාරදෙයි

ශ්‍රී ලංකාවේ ඊශ්‍රායලයේ නව තානාපතිවරයා ලෙස පත්කර ඇති සමාන් චන්ද්‍රසිරි මහතා සිය අක්තපත්‍රය ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් මහතා වෙත ජෙරුසලමේ පිහිටි ජනාධිපති නිල නිවස වන බෙයිට් හනාසිහිදී නිල වශයෙන් භාරදී තිබේ.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ ජනාධිපති හර්සොග් මහතා තානාපති චන්ද්‍රසිරි මහතා උණුසුම් ලෙස පිළිගෙන ඔහුගේ නව රාජකාරි සඳහා සාර්ථකත්වය ප්‍රාර්ථනා කළ බවයි.

තම අභාවප්‍රාප්ත පියා වන හිටපු ඊශ්‍රායල ජනාධිපති චයිම් හර්සොග් මහතා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරය සිහිපත් කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වයද අවධාරණය කර තිබේ.

ඊශ්‍රායල ආර්ථිකයට ශ්‍රී ලාංකිකයන් ලබාදෙන දායකත්වය පිළිබඳවද අදහස් දැක්වූ ජනාධිපති හර්සොග් මහතා, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ කාර්යභාරය අගය කරමින් දෙරට අතර පවතින කම්කරු සබඳතා දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලබාදෙන හවුල්කාරිත්වයක් ලෙස හඳුන්වා තිබේ.

එමෙන්ම ස්වභාවික සුන්දරත්වය, ආගන්තුක සත්කාරය සහ අමතක නොවන අත්දැකීම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඊශ්‍රායල සංචාරකයන් අතර ජනප්‍රිය ගමනාන්තයක් බවද ඔහු සඳහන් කර ඇත.

තානාපති සමාන් චන්ද්‍රසිරි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ ශ්‍රී ලංකා ජනතාවගේ සුබපැතුම් ඊශ්‍රායල ජනාධිපතිවරයා වෙත පිරිනමා ඇති අතර, කෘෂිකාර්මික තාක්ෂණය, ආරක්ෂක සහ වෙළෙඳ ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ශ්‍රී ලංකාවේ උනන්දුව පළකර තිබේ.

දෙරටේ ජනතාව අතර පවතින ශක්තිමත් සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ශක්තිමත් පදනමක් සපයන බවද ඔහු අවධාරණය කර ඇත.

වසර 25ක රාජ්‍ය සේවා පළපුරුද්දක් සහිත තානාපති චන්ද්‍රසිරි මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවය කර තිබේ.

තානාපති ධුරයට පත්වීමට පෙර ඔහු පුහුණු හා සංවර්ධන කළමනාකරු ලෙස කටයුතු කරමින් ධාරිතා සංවර්ධනය, සංක්‍රමණ කළමනාකරණය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සම්බන්ධ කටයුතුවල නිරත වී ඇත.

එමෙන්ම කොළඹ පිහිටි රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇති ඔහු, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සඳහා සම්පත් දායකයෙකු ලෙසද කටයුතු කර තිබේ.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී විශේෂ උපාධියක් ලබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *