හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ හිටපු ජ්යෙෂ්ඨ සෞඛ්ය නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු කටයුතු ආරම්භ කරන ලෙස ඉල්ලා ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා (TISL) ආයතනය ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
අදාළ පුද්ගලයන් පස්දෙනාට රුපියල් මිලියන 275ක මුදලක් රජයට ගෙවන ලෙස ශ්රේෂ්ඨාධිකරණය නියම කර තිබියදී එම නියෝගය ක්රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
ඖෂධ මිලදී ගැනීමේදී සිදුවූ අක්රමිකතා සම්බන්ධයෙන් 2026 මාර්තු 27 වැනිදා ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අනුව මෙම ගෙවීම් සිදුකළ යුතුව තිබූ බව TISL ආයතනය සඳහන් කරයි.
එම තීන්දුවට අනුව හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රුපියල් මිලියන 75ක් ගෙවන ලෙස නියම කර තිබිණි. සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම්වරයාට, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හිටපු සභාපතිවරයාට සහ හිටපු ප්රධාන විධායක නිලධාරියාට මෙන්ම වෛද්ය සැපයුම් අංශයේ හිටපු අධ්යක්ෂවරයාට ද එක් අයෙකු රුපියල් මිලියන 50 බැගින් ගෙවන ලෙස නියෝග කර තිබුණි.
ස්ථාපිත ක්රියාපටිපාටි මඟහැර හදිසි පදනමක් මත ඖෂධ මිලදී ගැනීමේ අවශ්යතාව තහවුරු කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බව ශ්රේෂ්ඨාධිකරණය එම තීන්දුවෙන් පෙන්වා දී තිබේ.
පෞද්ගලික සැපයුම්කරුවෙකුගෙන් ඖෂධ මිලදී ගැනීමට පහසුකම් සැලසීමේදී අදාළ වගඋත්තරකරුවන් දැනුවත්වම ප්රසම්පාදන රෙගුලාසි උල්ලංඝනය කර ඇති බව ද අධිකරණය තීරණය කර ඇත. එමඟින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාවක් ලැබීමේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය වී ඇති බව ද අධිකරණය තීරණය කර තිබේ.
අදාළ මුදල් ගෙවා නොමැති බව ශ්රේෂ්ඨාධිකරණයෙන් සහ සෞඛ්ය අමාත්යාංශයෙන් තහවුරු කරගත් බව TISL ආයතනය සඳහන් කරයි.
අධිකරණ තීන්දුවේ ගෙවීම් සඳහා නිශ්චිත කාලසීමාවක් සඳහන් කර නොතිබුණද, එම මුදල් වහාම ගෙවිය යුතුව තිබූ බව එම ආයතනය පෙන්වා දෙයි.
තවදුරටත් අධිකරණ නියෝගය ක්රියාත්මක නොකිරීම ශ්රේෂ්ඨාධිකරණ නියෝග හිතාමතා නොසලකා හැරීමක් වන අතර එය අධිකරණයට අපහාස කිරීමක් බවට ද TISL ආයතනය චෝදනා කරයි.
SC/Contempt/09/2026 යන නඩු අංකය යටතේ ගොනු කර ඇති මෙම පෙත්සමෙන්, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 105(3) වගන්තිය සහ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත යටතේ සුදුසු නීතිමය ක්රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා තිබේ.
ශ්රේෂ්ඨාධිකරණ තීන්දු ක්රියාත්මක කිරීම නීතියේ ආධිපත්යය සහ ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව වගවීම තහවුරු කිරීම සඳහා අත්යවශ්ය බව TISL ආයතනය අවධාරණය කරයි.
අදාළ නියෝගය ක්රියාත්මක නොකිරීම සම්බන්ධ චෝදනා විමර්ශනය කර නීතියට අනුකූලව සුදුසු පියවර ගන්නා ලෙස ද එම ආයතනය ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.


