මෙම මස මුල් භාගයේ දෙහිවලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෝමාගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ අගෝස්තු 4 වැනිදා දෙහිවල පොලිස් බල ප්‍රදේශයට අයත් කඩවත පාර ප්‍රදේශයේදී තුවක්කුකරුවෙකු පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව වෙඩි තැබීම සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයා 09 සවස අතුරුගිරිය හබරකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඔහු දෙහිවල පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දෙහිවල පොලීසිය විසින් සිදුකරයි.


