ශ්‍රී ලංකාවේ අලි ගහනයෙන් සියයට 30කට පමණ ඇසීමේ හැකියාව අහිමි වී ඇති බවත්, ප්‍රමිතියෙන් තොර ‘අලි පටාස්’ භාවිතය ඊට බලපාන එක් හේතුවක් බවත් කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
වනජීවී නිලධාරීන් සඳහා යතුරුපැදි භාරදීමේ අවස්ථාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මිනිස් හා වනජීවී ගැටුම පිළිබඳ අදහස් දක්වමිනි.
අලි, වඳුරන්, වල් ඌරන්, ඉත්තෑවන් සහ මොණරුන් ඇතුළු වන සතුන් සමඟ ඇතිවන මිනිස් ගැටුම ඇතැම් ප්‍රදේශවලදී මිනිස් අලි ගැටුමටත් වඩා බරපතළ තත්ත්වයකට පත්ව ඇති බව ඔහු පැවසීය.
මෙම ගැටුම් හේතුවෙන් මෙරට කෘෂිකාර්මික නිෂ්පාදනයට ද දැඩි බලපෑමක් එල්ල වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වන සතුන්ගෙන් තම වගාවන් විනාශ වීම හේතුවෙන් ගොවීන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවත්, එය රටේ කෘෂිකාර්මික නිෂ්පාදනය ඉදිරියට පවත්වාගෙන යාමට සැලකිය යුතු අභියෝගයක් බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම වෙඩි තැබීම් ඇතුළු විවිධ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වන සතුන්ට, විශේෂයෙන් අලින්ට සිදුවන හානිය පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. බොහෝ සතුන් තුවාල ලබා ඇති අතර, ඇතැම් සතුන්ගේ සිරුරුවල තවමත් වෙඩි උණ්ඩ ඇති බවද ඔහු පැවසීය.
‘අලි පටාස්’වලින් නිකුත් වන අධික ශබ්දය අලි ඇතුන්ට, විශේෂයෙන් පැටවුන්ට, බලපෑම් කළ හැකි බව සඳහන් කළ නාමල් කරුණාරත්න මහතා, එම තත්ත්වය හේතුවෙන් ඇතැම් අලි අවසානයේදී ඇසීමේ හැකියාව අහිමි කර ගන්නා බවටද ප්‍රකාශ කළේය.
ගම්මාන ආශ්‍රිතව ආහාර සහ ජලය පහසුවෙන් ලබාගත හැකි වීමත්, වනාන්තර තුළ එම සම්පත්වල හිඟයක් පැවතීමත් වන සතුන් මිනිස් වාසස්ථාන වෙත පැමිණීමට ප්‍රධාන හේතුවක් බව ඔහු පෙන්වා දුන්නේය.
එබැවින් මිනිස් හා වනජීවී ගැටුම අවම කිරීම සඳහා වනජීවී වාසස්ථාන තුළ ප්‍රමාණවත් ආහාර සහ ජලය පවතින බව සහතික කිරීම අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.


