විපක්ෂය මැති ඇමැති ෆයිල් සොයා බදු කන්තෝරුවත් පීරයි

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සියලු දෙනාගේ (159) ආදායම් බදු ලිපිගොනු (ෆයිල්) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන පරීක්ෂා කිරීමට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.

එම බදු ලිපිගොනු තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ගැනීමට විපක්ෂයෙන් වෙනම කණ්ඩායම්ද පත් කරනු ලැබ සිටිති. එම කණ්ඩායම්වලට නීතිඥවරුද ඇතුළත් වෙති.

මේ අනුව මැති ඇමතිවරුන්ගේ මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ බදු ගෙවීමේ සියලුම ලිපිගොනු ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

මීට අමතරව ආසන සංවිධායකවරුන් මාර්ගයෙන්ද ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ දේපළ සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.

මේ අතර ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ වත්කම් බැරකම් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට විපක්ෂයේ දේශපාලන පක්ෂ ඉල්ලුම්පත් සීයකට වැඩි සංඛ්‍යාවක් දැනටමත් යොමු කර ඇත.

ඉල්ලුම්පත් විශාල සංඛ්‍යාවක් එකවර ලැබීම හේතුවෙන් ඒවාට පිළිතුරු සැපයීමේදී කොමිසමේ නිලධාරීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *