විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැනුවත් කිරීමේ වැඩසටහන කල් දමන්නැයි ඉල්ලයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වීමට යෝජිත දැනුවත් කිරීමේ වැඩසටහන කල් දමන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රාජීව් අමරසූරිය මහතා අගෝස්තු 19 වැනිදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කළ ලිපියකින් සඳහන් කර ඇත්තේ මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන් සහභාගී වනු ඇතැයි තමන් අපේක්ෂා කළ බවයි.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ඇති කරුණු පිළිබඳව මන්ත්‍රීවරුන්ට වඩාත් හොඳ අවබෝධයක් ලබාගැනීමට එම වැඩසටහන අවස්ථාවක් වනු ඇතැයිද එම සංගමය පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්, අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තුවේ සිදුවූ ක්‍රියාදාමයන් සහ ආණ්ඩුව විසින් ප්‍රකාශ කළ ස්ථාවරය අනුව මෙම කරුණ සම්බන්ධයෙන් මේ වන විට “එකඟතාවක් නොමැති බව පෙනී යන” බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

එමෙන්ම තම මන්ත්‍රීවරුන්ට මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මේ අවස්ථාවේ උනන්දුවක් නොපෙනෙන බවද එම සංගමය සඳහන් කර ඇත.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂය දැනටමත් දැඩි විරෝධයක් පළ කර ඇති බව පවසන ශ්‍රී ලංකා නීතිඥ සංගමය, මෙම වැඩසටහන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ටද මෙම කරුණ සම්බන්ධයෙන් වඩාත් වෛෂයිකව කරුණු සලකා බැලීමට විශේෂයෙන් ප්‍රයෝජනවත් වනු ඇති බව පෙන්වා දී තිබේ.

ඒ අනුව දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය තහවුරු කළ හැකි වන තෙක් දැනුවත් කිරීමේ වැඩසටහන කල් දමන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා ඇත.

මෙම වැඩසටහන යෝජනා කර ඒ සම්බන්ධයෙන් පසු විපරම් කිරීම පිළිබඳව විපක්ෂ නායකවරයාට ස්තූතිය පළ කර ඇති ශ්‍රී ලංකා නීතිඥ සංගමය, එය ව්‍යවස්ථාමය සංවාදය සඳහා ඉදිරිගාමී පියවරක් ලෙසද හඳුන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *