විදේශ රැකියා අවසන් කර නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් සඳහා භාවිතයට නොගත් ඉඩම් වෙන් කිරීමේ වැඩසටහනක්, අවශ්‍ය ව්‍යාපෘති සහාය සේවා සමඟින් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. එහිදී 2026 අයවැය ප්‍රතිපාදන යටතේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කළ අතර, 2027 අයවැය සඳහා අමාත්‍යාංශ යෝජනා පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
වැවිලි ක්ෂේත්රය, ප්‍රජා යටිතල පහසුකම් ක්ෂේත්රය සහ අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය වැවිලි සමාගම්වල ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. 2027 වසර සඳහා වන ප්‍රමුඛතා, මූල්‍ය අවශ්‍යතා සහ සැලසුම්ගත වැඩසටහන් පිළිබඳවද අවධානය යොමු විය.
වැවිලි ක්ෂේත්රයේ රාජ්‍ය ඉඩම් මැනුම් වැඩසටහන, පොල් වගාවේ රෝග පාලනය, කප්රුක අරමුදල, පොල් නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩසටහන් සහ උතුරු පොල් ත්‍රිකෝණ වැඩසටහන ඇතුළු රුපියල් මිලියන 1,081ක ප්‍රාග්ධන ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතියද සමාලෝචනය කරන ලදී.
වැවිලි ක්ෂේත්රයේ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන් පිළිබඳවද ජනාධිපතිවරයා අවධානය යොමු කළ අතර, මලයගම් ජනතාව වෙනුවෙන් ඉදිකරන නිවාස 10,000 ව්‍යාපෘතිය නියමිත කාලසීමාව තුළ අවසන් කර ප්‍රතිලාභීන් වෙත කඩිනමින් භාරදීමේ වැදගත්කම අවධාරණය කළේය.
විදේශ ආධාර සහ ණය ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණවල පැවති දුර්වලතා හේතුවෙන් ඇතැම් වෙන් කළ මුදල් ප්‍රමාණ භාවිතයට නොගෙන ඉතිරිවීම හෝ ආපසු යැවීම සිදුව ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් හානි වූ තේ, පොල් සහ රබර් වගා නැවත ස්ථාපිත කිරීම සඳහා ක්‍රියාත්මක සහන වැඩසටහනේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කරන ලදී.
මෙම සාකච්ඡාවේදී තේ, පොල්, රබර්, කජු සහ කිතුල් ක්ෂේත්‍ර මෙන්ම වැවිලි යටිතල පහසුකම් සංවර්ධන කටයුතු පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ වර්ධනයක් සහ ලාභදායීත්වයේ වැඩිදියුණුවක් පෙන්නුම් කර ඇති බව අනාවරණය විය.
එල්කඩුව වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම, හලාවත වැවිලි සමාගම, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාව ඇතුළු රාජ්‍ය වැවිලි ආයතන හයක් ලාභදායීත්වය ඉහළ නැංවීමේ සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවද සඳහන් විය.
තේ පර්යේෂණ ආයතනය මගින් ක්‍රියාත්මක බෝග නිෂ්පාදන වැඩසටහන්, පර්යේෂණ හා සංවර්ධන කටයුතු සහ සුළු පරිමාණ තේ වගාකරුවන්ගේ නැවත වගා වැඩසටහන් සඳහා සහාය ලබාදීම පිළිබඳවද අවධානය යොමු විය.
ශ්‍රී ලංකාවේ තේ වගා බිම්වලින් හෙක්ටයාර් 60,000ක් පමණ සුළු පරිමාණ තේ වගාකරුවන් සතු බවත්, 2026 අයවැයෙන් සුළු පරිමාණ තේ වගා නැවත වගා කිරීම සඳහා වෙන් කළ රුපියල් මිලියන 450.06ක මුදලින් මේ වන විට රුපියල් මිලියන 155.07ක් භාවිත කර ඇති බවත් මෙහිදී අනාවරණය විය.
තේ කුඩා වතු සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක “තේ ගම්මාන 500” වැඩසටහනේ ප්‍රගතියද සමාලෝචනය කළ ජනාධිපතිවරයා, එය “ප්‍රජාශක්ති” වැනි ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සමඟ ඒකාබද්ධ කර කඩිනමින් අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
රබර් වගාව යළි නංවාලීමේ වැඩසටහන්, රබර් පර්යේෂණ ආයතනය සඳහා 2026 අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියන 137ක ප්‍රතිපාදන, රබර් නැවත වගා කිරීමේ වැඩසටහන් සහ එහිදී මතුව ඇති අභියෝග පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
පොල් කර්මාන්තය සංවර්ධනය කිරීම, පොල් වගාවල ඵලදායීතාව ඉහළ නැංවීම, නව නිෂ්පාදන සංවර්ධනය, අගය එකතු කිරීම සහ නිෂ්පාදන ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා වන වැඩසටහන් සහ පර්යේෂණ කටයුතු පිළිබඳවද අවධානය යොමු විය.
කිතුල් සහ පල්මිරා කර්මාන්ත ශක්තිමත් කිරීම සඳහා පල්මිරා සංවර්ධන මණ්ඩලය සහ කිතුල් සංවර්ධන මණ්ඩලය මගින් ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතියද සමාලෝචනය කරන ලදී.
මෙම වසරේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වාර්ෂික කජු ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 25,000න් මෙට්‍රික් ටොන් 18,000ක් පමණ නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවද මෙහිදී අනාවරණය විය. උතුරු සහ නැගෙනහිර පළාත්වල හෙක්ටයාර් 15,000ක පමණ භූමි ප්‍රමාණයක කජු වගාව පුළුල් කිරීමේ හැකියාව පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
වැවිලි ක්ෂේත්රයට අදාළ ආයතන ඒකාබද්ධ කිරීමේ වැඩසටහන් සහ වාණිජ නොවන රාජ්‍ය ආයතන සම්බන්ධ කැබිනට් තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සමාලෝචනය කරන ලදී.
පෙර රජයන් විසින් සමාගම් වෙත ඉඩම් ලබාදීමේදී ඇති කරගත් ගිවිසුම් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවද සාකච්ඡාවට ලක් වූ අතර, රාජ්‍ය ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් වඩාත් ශක්තිමත් ගිවිසුම් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය හරහා කමිටුවක් පත් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.
ජාතික වැවිලි කළමනාකරණ ආයතනය මගින් පවත්වන පාඨමාලා විශ්වවිද්‍යාල හරහා පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳවද අදාළ උසස් අධ්‍යාපන ආයතන සමඟ සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, කම්කරු සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ අදාළ ආයතනවල සභාපතිවරුන්, අධ්යක්ෂ ජනරාල්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.


