ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආයතනික ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස ව්‍යවස්ථාමය කරුණු සමාලෝචනය කිරීම සඳහා වෙනම ව්‍යවස්ථා අධිකරණයක් හෝ විශේෂිත යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුද යන්න සම්බන්ධයෙන් ජාතික සංවාදයක් ආරම්භ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපති ස්ටීවන් තිරු මහතා සමඟ පැවති හමුවකින් අනතුරුවය.
ව්‍යවස්ථාමය ප්රජාතන්ත්රවාදය, බලතල බෙදීම, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ පාරිසරික යුක්තිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබේ.
සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දී ඇත්තේ කුමන දේශපාලන පක්ෂයක් බලයේ සිටියද ව්‍යවස්ථාමය ආයතන ස්වාධීනව සහ විශ්වාසනීය ලෙස ක්‍රියා කළ හැකි ආකාරයෙන් ඒවා ව්‍යුහගත කළ යුතු බවයි.
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ රජයේ හෝ විපක්ෂයේ ක්ෂණික දේශපාලන අවශ්‍යතා මත පදනම් නොවිය යුතු බවද ඔහු අවධාරණය කර තිබේ. ඒ වෙනුවට දේශපාලන බලය වෙනස් වූ අවස්ථාවකදී පවා එම ප්‍රතිසංස්කරණ නීත්‍යානුකූලභාවය පවත්වා ගනිමින් පුරවැසියන්ට සහ ආයතනවලට අවශ්‍ය ආරක්ෂාව සපයන ආකාරයෙන් සකස් කළ යුතු බව ඔහු සඳහන් කළේය.
ස්වාධීන ව්‍යවස්ථාමය ආයතනවලට බලපාන ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රමාණවත් ආරක්ෂණ ක්‍රමවේද, පැහැදිලි සාධාරණීකරණයක්, විනිවිදභාවයක් සහ මහජනතාව ඇතුළු අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ අර්ථවත් අදහස් විමසීමක් අවශ්‍ය බවද ප්‍රේමදාස මහතා පැවසීය.
පාර්ලිමේන්තුව, විධායකය සහ අධිකරණය අතර බලතල බෙදීම මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය, වගවීම සහ විනිවිදභාවය ඇගයීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියක් ලෙස පොදුරාජ්‍ය මණ්ඩලීය ලැටිමර් හවුස් මූලධර්මද සාකච්ඡාවට ලක්ව තිබේ.
දිගුකාලීන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක කොටසක් ලෙසත්, දැනට ක්‍රියාත්මක අධිකරණ කටයුතුවලට කිසිදු බලපෑමක් නොවන පරිදිත්, ශ්‍රී ලංකාවට වෙනම ව්‍යවස්ථා අධිකරණයක් හෝ වෙනත් විශේෂිත ව්‍යවස්ථා සමාලෝචන යාන්ත්‍රණයක් අවශ්‍යද යන්න සලකා බැලිය හැකි බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
එවැනි ආයතනයක් ස්ථාපිත කරන්නේ නම් එහි බලතල, සංයුතිය, විනිසුරුවරුන් පත් කිරීමේ ක්‍රමවේදය, ධුර කාලය, ජනතාවට ප්‍රවේශ වීමේ හැකියාව සහ දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය සමඟ එහි සම්බන්ධතාවය පිළිබඳව ඉතා සැලකිල්ලෙන් සලකා බැලිය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
පාරිසරික නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වී තිබේ.
2024 ජනාධිපතිවරණ සමයේ ඉදිරිපත් කළ Environmental Charter 2.0 හි 14 වන වගන්තිය යටතේ විශේෂිත පාරිසරික අධිකරණයක් හෝ විනිශ්චය මණ්ඩලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්තිමය කැපවීමක් පිළිබඳවද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
පාරිසරික නීති ක්‍රියාත්මක කිරීම, පාරිසරික යුක්තිය සහ පාරිසරික ආරවුල් විසඳීම ශක්තිමත් කිරීම සඳහා පාරිසරික අධිකරණයක්, විනිශ්චය මණ්ඩලයක් හෝ දෙකෙහිම ලක්ෂණ ඇතුළත් මිශ්‍ර ආකෘතියක් ශ්‍රී ලංකාවට වඩාත් සුදුසුද යන්න තීරණය කිරීම සඳහා අනෙකුත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල අත්දැකීම් අධ්‍යයනය කිරීමටද ඔහු උනන්දුව පළ කළේය.
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අඛණ්ඩ, විනිවිදභාවයෙන් යුතු සහ සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසන ක්‍රියාවලියක් විය යුතු බව සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
දේශපාලන බලය එක් පාර්ශ්වයකින් තවත් පාර්ශ්වයකට මාරු වූ අවස්ථාවකදී පවා කිසියම් ආයතනික ක්‍රමවේදයක් ආරක්ෂිතව සහ නීත්‍යානුකූලව පවතින්නේද යන්න එහි සැබෑ පරීක්ෂණය බවද ඔහු පැවසීය.
“අධිකරණයේ ස්වාධීනත්වය විනිසුරුවරුන්ගේ වරප්‍රසාදයක් නොව, ජනතාවට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය පාලන ක්‍රමයට ලබාදෙන ආරක්ෂාවක්” යැයි ඔහු සඳහන් කළේය.
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඊට අදාළ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති විභාගය අවසන් වීමත් සමඟ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව රට තුළ දැඩි සංවාදයක් මතුව ඇති පසුබිමක මෙම සාකච්ඡා පැවැත්වී තිබේ.


