ශ්‍රී ලංකාවේ ජීවත් වන රෝහින්ග්‍යා සරණාගතයෙකු, ශ්‍රී ලංකාවේ රඳවා සිටින රෝහින්ග්‍යා සරණාගතයන් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරයේදී සෘජු ඉල්ලීමක් කර තිබේ.
Pax Romana සංවිධානය වෙනුවෙන් මෙම ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහු මානව හිමිකම් කවුන්සිලය හමුවේ අදහස් දක්වා ඇත.
රඳවා සිටින රෝහින්ග්‍යා සරණාගතයන්ට නිදහස ලබාදෙන තුරු, දරුවන් ඇතුළු එම පිරිසට එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR), නීතිඥවරුන්, මාධ්‍යවේදීන් සහ මානුෂීය සංවිධාන වෙත බාධාවකින් තොරව ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදෙන ලෙස ඔහු ඉල්ලා තිබේ.
එමෙන්ම රෝහින්ග්‍යා සරණාගතයන් “නීති විරෝධී සංක්‍රමණිකයන්” ලෙස හැඳින්වීමෙන් වළකින ලෙසද ඔහු ඉල්ලා ඇත. ඔවුන් මුහුණ දී ඇති දුක් වේදනා සහ අත්දැකීම් ඔවුන්ගේ සරණාගත තත්ත්වය සනාථ කරන බව ඔහු පෙන්වා දී තිබේ.
2024 දෙසැම්බර් මාසයේදී යාපනයට ඔබ්බෙන් මුහුදේදී රෝහින්ග්‍යා සරණාගතයන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගැනීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කළ ඔහු, ශ්‍රී ලංකා රජය විසින් ඔවුන්ගේ ජීවනෝපාය, නිවාස, ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි මූලික අයිතිවාසිකම් සහතික කළ යුතු බවද අවධාරණය කර තිබේ.
පුරවැසිභාවයක් නොමැතිවීම සහ ජන සංහාරයකට මුහුණ දී තිබීම හේතුවෙන් රෝහින්ග්‍යා ජනතාව මුහුණ දෙන තත්ත්වය පිළිබඳවද ඔහු අවධානය යොමු කර තිබේ.
වෙනත් රටක නැවත පදිංචි කිරීමට නොහැකි රෝහින්ග්‍යා සරණාගතයන්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය ලබාදීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසද ඔහු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.
රෝහින්ග්‍යා සරණාගතයන්ට සහාය දක්වන ශ්‍රී ලාංකික මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එල්ල වන හිරිහැර, නිරීක්ෂණ සහ සීමා කිරීම් වහාම අවසන් කරන ලෙසද එම ඉල්ලීමේදී සඳහන් කර තිබේ.
ප්‍රකාශයෙන් කොටසක්
“මගේ නම මොහොමඩ් අන්වර්. මම ශ්‍රී ලංකාවේ ජීවත් වන රෝහින්ග්‍යා සරණාගතයෙක්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ වාර්තා සහ මියන්මාරය පිළිබඳ ස්වාධීන විමර්ශන යාන්ත්‍රණයේ වාර්තා වෙත අවධානය යොමු කිරීමට මම කැමතියි.
2022 දෙසැම්බර් මාසයේදී යාපනයට ඔබ්බෙන් මුහුදේ සිට රෝහින්ග්‍යා ජාතිකයන් 105 දෙනෙකු පමණ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගැනීම අපි අගය කරනවා. පානදුර අවට පදිංචි කර සිටින සියලුම රෝහින්ග්‍යා සරණාගතයන්ගේ ජීවනෝපාය, නිවාස, ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සඳහා ඇති අයිතිවාසිකම් ශ්‍රී ලංකා රජය විසින් සහතික කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.
2024 දෙසැම්බර් මාසයේදී ඉතා දුෂ්කර මුහුදු ගමනකින් පසු රෝහින්ග්‍යා ජාතිකයන් 116 දෙනෙකු පමණ ශ්‍රී ලංකාවට පැමිණියා. ඔවුන් අතර ළමුන් 57 දෙනෙකුද සිටියා. එම ගමනේදී බෝට්ටු දෙකක් මුහුදුබත් වී පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඔවුන් මුහුණ දුන් දුක් වේදනා, ප්රචණ්ඩත්වය, අවතැන්වීම සහ භීතිය ඔවුන්ගේ සරණාගත තත්ත්වය සනාථ කළද, මෙම පිරිස මාස 20කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ රඳවා සිටින අතර ඔවුන්ට මානුෂීය ආධාර ලබාගැනීමට ඇත්තේ ඉතා සීමිත අවස්ථාවක්.
එබැවින් ඔවුන් නිදහස් කරන ලෙසත්, UNHCR, නීතිඥවරුන්, මානුෂීය සංවිධාන සහ මාධ්‍යවේදීන්ට බාධාවකින් තොරව ප්‍රවේශ වීම සහතික කරන ලෙසත් අපි ඉල්ලා සිටිනවා. එමෙන්ම සරණාගතයන් ‘නීති විරෝධී සංක්‍රමණිකයන්’ ලෙස හැඳින්වීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටිනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කරුණු සෙවීමේ මෙහෙයුම මඟින් රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදුව ඇති බවත්, තවමත් මියන්මාරයේ සිටින රෝහින්ග්‍යා ජනතාව ජන සංහාරයක තර්ජනයට මුහුණ දී සිටින බවත් පෙන්වා දී තිබෙනවා. අපි රෝහින්ග්‍යා ජාතිකයන්. අපි රටක් නොමැති ජනතාවක්.
ඒ අනුව, වෙනත් කිසිදු රටක නැවත පදිංචි කළ නොහැකි ශ්‍රී ලංකාවේ සිටින රෝහින්ග්‍යා සහ අනෙකුත් සරණාගතයන්ට පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය ලබාදීම පිළිබඳව සලකා බලන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම අපට සහාය දක්වන ශ්‍රී ලාංකික මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එරෙහි හිරිහැර, නිරීක්ෂණ සහ සීමා කිරීම් වහාම අවසන් කරන ලෙසත් අපි ඉල්ලා සිටිනවා.”


