Wednesday, 4 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

රුපියල් මිලියන 104ක අනුග්‍රහය ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කොළඹදී පැවැති 63 වැනි ආසියා-පැසිෆික් විකාශන සංගමයේ (ABU) මහා මණ්ඩල සැසිවාරය සඳහා රුපියල් මිලියන 104කට අධික (රුපියල් කෝටි 10කට වැඩි) රාජ්‍ය අනුග්‍රාහකත්වයක් ලබාදීමට ගත් තීරණය පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු පැහැදිලි කළේය.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම මුදල් වෙන්කිරීම මහා භාණ්ඩාගාරයේ සෘජු මුදල් ප්‍රතිපාදනයක් නොවන බවත්, ජාත්‍යන්තර සංචාරක ප්‍රවර්ධන කටයුතුවල එක් පියවරක් ලෙස සංචාරක බදු මඟින් ලැබෙන ආදායමෙන් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) අරමුදල් මඟින් එය ලබාදී ඇති බවත්ය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ප්‍රවර්ධනය කිරීම සඳහා පිහිටුවා ඇති සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම අනුග්‍රාහකත්ව යෝජනාව ඇගයීමට ලක්කළ බවද ඔහු පැවසීය.

සත්කාරක විකාශකයා තේරුවේ කවුද?

සමුළුවේ නිල සත්කාරක විකාශකයා (Host Broadcaster) ලෙස ‘MTV චැනල් පුද්ගලික සමාගම’ (MTV Channel Pvt Ltd) තෝරාගැනීම පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, එම තීරණය ගනු ලැබුවේ ආසියා-පැසිෆික් විකාශන සංගමය (ABU) මඟින් මිස ශ්‍රී ලංකා රජය විසින් නොවන බව අවධාරණය කළේය.

රටවල් 66ක සාමාජික මාධ්‍ය ආයතන 225ක් නියෝජනය කරමින් විදේශීය නියෝජිතයින් 350 දෙනෙකු පමණ කොළඹ පැවති මෙම සමුළුවට සහභාගී වූ බවත්, මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් මෙරට පැවැත්වීම හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය ලෝකයට විදහාපෑමට අනගි අවස්ථාවක් හිමිවූ බවත් ඔහු පෙන්වා දුන්නේය. අනුග්‍රාහකත්වයේ පවතින ඉහළ මූල්‍ය වටිනාකම හේතුවෙන් ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම අනිවාර්ය වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රුපියල් මිලියන 250ක ජාත්‍යන්තර ප්‍රචාරණ වටිනාකමක්

මේ අතර, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම සමුළුවට ලැබුණු පුළුල් ජාත්‍යන්තර මාධ්‍ය ආවරණය හරහා මෙරටට රුපියල් මිලියන 250කට අධික ඉහළ ප්‍රවර්ධන මාධ්‍ය වටිනාකමක් (Promotional media value) හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ජාත්‍යන්තර සමුළු සහ මහා පරිමාණ ඉසව් සඳහා ශ්‍රී ලංකාව කදිම ගමනාන්තයක් බව ලොවට ප්‍රදර්ශනය කිරීමට මෙමඟින් මහඟු අවස්ථාවක් සැලසුණු බවද සංචාරක කාර්යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඔබේ අදහස