යුද උපකරණ ඉතා වේගයෙන් රටවල් අතර ප්‍රවාහනය කළ හැකි නමුත් පොහොර සහ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම දුෂ්කර වී ඇති ජාත්‍යන්තර පද්ධතියක් පවතින බව නේපාල අග්‍රාමාත්‍ය බලේන්ද්‍ර ෂා මහතා විවේචනය කළේය.
සැප්තැම්බර් 24 වැනිදා නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිවාරය අමතමින් ඔහු පැවසුවේ නේපාලයේ ගොවියෙකුට අවශ්‍ය අවස්ථාවේ පොහොර හෝ ඉන්ධන ලබාගැනීමට අසීරු විය හැකි නමුත් මිසයිල, රයිෆල් සහ පතොරම් දේශසීමා හරහා බාධාවකින් තොරව ගමන් කර නියමිත වේලාවට ගමනාන්තයට ළඟාවන බවයි.
“යුද්ධය සඳහා අතිවිශිෂ්ට සැපයුම් පද්ධතියක් සහ ආහාර සඳහා බිඳුණු සැපයුම් පද්ධතියක් සහිත ලෝකයක් අපි ගොඩනගා තිබෙනවා,” යනුවෙන් ෂා මහතා පැවසීය.
මෙය නේපාලයට පමණක් සීමා වූ ගැටලුවක් නොවන බව පෙන්වා දුන් ඔහු, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ රටවල්ද මෙවැනි පීඩනයන්ට මුහුණ දෙන බව සඳහන් කළේය.
“ශ්‍රී ලංකාවෙන් විමසන්න,” යනුවෙන්ද පැවසූ නේපාල අග්‍රාමාත්‍යවරයා, තම කලාපයේ රටවල් “අප උණුසුම් නොකළ දේශගුණික විපර්යාසවලින් පහර කෑ අතර, අප ආරම්භ නොකළ යුද්ධවලින්ද යළි පහර කෑ” බව ප්‍රකාශ කළේය.
දේශගුණික විපර්යාස, ගෝලීය සැපයුම් දාම සහ අසමානතාව සම්බන්ධ පුළුල් ගැටලු සමඟ මෙම තත්ත්වය බැඳී ඇති බව ෂා මහතා පෙන්වා දුන්නේය. තමන් නිර්මාණය නොකළ අර්බුද හේතුවෙන් සීමිත සම්පත් සහිත රටවල් අසමාන ලෙස බලපෑමට ලක් නොවිය යුතු බවද ඔහු අවධාරණය කළේය.
දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ දේශගුණික මූල්‍ය පහසුකම් සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව තවදුරටත් වැඩි කරන ලෙසද නේපාල අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
ආපදා තත්ත්වයන් ඇතිවන අවස්ථාවල අවදානමට ලක්වන රටවලට අවශ්‍ය සහාය වඩාත් වේගයෙන් ලබාගැනීමට හැකි ක්‍රමවේදයක් අවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.


