පොත් සඳහා පනවා ඇති VAT සංශෝධනය කිරීමට රජය උපරිම උත්සාහයක: අගමැතිනිය

දැනට පොත් සඳහා පනවා ඇති එකතු කළ අගය මත බද්ද (VAT) සම්බන්ධයෙන් වෙනසක් සිදුකිරීමට රජය උපරිම උත්සාහයක් දරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

27 වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව තමන්ගෙන් ඉල්ලා සිටි බවයි.

“ජනාධිපතිවරයා අද විශේෂයෙන් මට කතා කරලා මේ ගැන කියන්න කිව්වා. ඔහු කිව්වේ අපි හැකි සෑම උත්සාහයක්ම දරමින් සිටින බවත්, දැනට පොත් සඳහා පනවා ඇති VAT සම්බන්ධයෙන් වෙනසක් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත්,” අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

ඩිජිටල් තාක්ෂණය භාවිතය වේගයෙන් වර්ධනය වෙමින් පැවතියද මුද්‍රිත පොත්වල වැදගත්කමද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

කියවීම මගින් අවබෝධය සහ විශ්ලේෂණාත්මක හැකියාවන් වර්ධනය කිරීමට වැදගත් දායකත්වයක් ලැබෙන බවද ඇය පෙන්වා දුන්නාය.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වාර්ෂිකව පැවැත්වෙන ප්‍රදර්ශනයක් පමණක් නොවන බව පැවසූ අමරසූරිය මහත්මිය, එය මේ වනවිට ශ්‍රී ලංකාවේ සංස්කෘතික ජීවිතයේ කොටසක් බවට පත්ව ඇති බව සඳහන් කළාය.

සෑම වසරකදීම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බලාපොරොත්තුවෙන් සිටින මෙම පොත් ප්‍රදර්ශනය මෙරට ජන ජීවිතය සමඟ දැඩි ලෙස බැඳී ඇති අවස්ථාවක් බවද ඇය පැවසුවාය.

27 වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *