මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් මිලියන 15කට අධික වත්කම් තහනම් කරයි

වැලිගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු විසින් නීති විරෝධී ක්‍රියාකාරකම් හරහා උපයාගත් බවට සැක කෙරෙන රුපියල් මිලියන 15කට අධික වටිනාකමකින් යුත් වත්කම් සම්බන්ධයෙන් ගනුදෙනු සීමා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබේ.

පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇති අතර, වැලිගම පනේන්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු EZ Cash මුදල් හුවමාරු ක්‍රමය භාවිත කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට එහිදී තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයකදී සැකකරුට සම්බන්ධ බවට සැක කෙරෙන රුපියල් මිලියන 15කට අධික වටිනාකමකින් යුත් වත්කම් හඳුනාගෙන ඇත.

අදාළ විමර්ශනවලට අනුව, සිකුරාදා (04) දින බලපැවැත්වෙන අදාළ නීතිමය ප්‍රතිපාදන යටතේ එම වත්කම් සම්බන්ධයෙන් දින 14ක කාලයක් ගනුදෙනු කිරීම සීමා කිරීමට පියවර ගත් බව පොලිසිය සඳහන් කළේය.

සැක කෙරෙන නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *