ටෙල් අවීව් බලා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි ගුවන් යානයක නියමු කුටිය තුළ සිදුවූ බරපතළ ප්‍රහාරය සම්බන්ධයෙන් නව තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර, සහායක නියමුවාගේ ප්‍රහාරයට ලක්වීමෙන් පසු නියමු කුටියේ දොර වෙත ළඟාවීමට තමන් සියලු ශක්තිය යොදා සටන් කළ ආකාරය කපිතාන් ස්මිත් මච්චාර් හෙළි කර තිබේ.
ඉන්දීය ජාතිකයෙකු වන කපිතාන් මච්චාර් සැප්තැම්බර් 30 වැනිදා ඩුබායි සිට ටෙල් අවීව් බලා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි FZ1073 ගුවන් යානයේ නියමුවා ලෙස කටයුතු කරමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ දී තිබිණි.
ABC News වෙත අදහස් දක්වමින් මච්චාර් පැවසුවේ, සහායක නියමුවා තමන්ට යානය තුළ යාච්ඤා කිරීමට අවශ්‍ය බව පැවසූ බවයි. එය ගුවන් ගමන් අතරතුර සාමාන්‍යයෙන් සිදුවන දෙයක් බව ඔහු සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, මිනිත්තු කිහිපයකට පසු තම හිසට හදිසියේ දැඩි පහරක් එල්ල වූ බව මච්චාර් පවසා ඇත.
මුලින් ඔහු සිතා ඇත්තේ ගුවන් යානයට බරපතළ යාන්ත්‍රික දෝෂයක් සිදුවී ඇති බවයි. එහෙත් දිගින් දිගටම පහර එල්ල වීමත් සමඟ තමන්ට පහර දෙන්නේ නියමු කුටියේ සිටි අනෙක් නියමුවා බව ඔහු අවබෝධ කරගෙන තිබේ.
විමර්ශනය සම්බන්ධයෙන් දැනුවත් මූලාශ්‍ර කිහිපයක් පවසා ඇත්තේ සැකකරු 29 හැවිරිදි හමාම් අල් හම්මාමි බවයි. ඔහු ආයුධයකින් කපිතාන්වරයාට ප්‍රහාර එල්ල කර ගුවන් යානයේ පාලනය සියතට ගැනීමට උත්සාහ කර ඇති අතර, එහිදී යානය වේගයෙන් පහළට ගමන් කර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් මෙම සිද්ධිය ත්‍රස්ත ප්‍රහාරයකට උත්සාහ කිරීමක් ලෙස විස්තර කර ඇත.
ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා පෙනීමද අපැහැදිලි වී තිබියදී, තම දිවි ගලවා ගැනීම මෙන්ම යානයේ සිටි අනෙක් පුද්ගලයන්ගේ ජීවිතද රඳා පවතින්නේ නියමු කුටියේ දොර වෙත ළඟාවීම මත බව මච්චාර් අවබෝධ කරගෙන තිබේ.
“මට තිබූ සියල්ලම යොදාගෙන මම දොර වෙත ගියා,” යනුවෙන් ඔහු සිද්ධිය සිහිපත් කර තිබේ.
විමර්ශකයන්ට අනුව කපිතාන්වරයා නියමු කුටියේ දොර විවෘත කිරීමට සමත් වූ පසු මගීන් කිහිපදෙනෙකු නියමු කුටියට ඇතුළු වී සැකකරු මෙල්ල කර තිබේ.
මගියෙකු වන යානිව් හයුන් සැකකරු නියමු කුටියෙන් ඉවත් කර ඇති අතර, මුලදී ගුවන් යානයේ පාලනයද භාරගෙන තිබේ. තවත් මගීන් පිරිසක් සැකකරු මෙල්ල කර තබා ගැනීමට සහාය වී ඇත.
අනතුරුව ගුවන් යානය සෞදි අරාබියේ ටබුක් වෙත හරවා යවා ඇති අතර, එහිදී ආරක්ෂිතව ගොඩබස්වා තිබේ. සිද්ධියෙන් ගුවන් යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 172 දෙනාම දිවි ගලවාගෙන ඇත.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ කපිතාන් මච්චාර් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැගෙන ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන තිබේ.
පසුව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුද කපිතාන්වරයා සමඟ දුරකථනයෙන් කතා කර ඔහුගේ ක්‍රියාකලාපය වෙනුවෙන් ස්තූතිය පළ කර ඇති අතර, ඊශ්‍රායලයට පැමිණෙන ලෙසද ඔහුට ආරාධනා කර තිබේ.
සැකකරු අත්අඩංගුවේ පසුවන අතර, සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු අදාළ රටවල බලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිති.
සිද්ධියෙන් පසුව ෆ්ලයිඩුබායි සමාගම ටෙල් අවීව් වෙත සිදුකරන ගුවන් ගමන් දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමටද කටයුතු කර තිබේ.


