බෙල්ලන්විල පෙරහැර හේතුවෙන් බොරලැස්ගමුවේ දින තුනක් රථවාහන සීමා කෙරේ

බෙල්ලන්විල ඇසළ මහා පෙරහැර හේතුවෙන් බොරලැස්ගමුව පොලිස් බල ප්‍රදේශයේ දින කිහිපයක් රථවාහන සීමා කිරීමට පියවර ගෙන ඇති අතර, රථවාහන තදබදය අවම කිරීම සඳහා විකල්ප මාර්ගද පොලිසිය විසින් දැනුම් දී තිබේ.

පාවාඩ පෙරහැර අගෝස්තු 13 වැනිදා පෙරවරු 7.00 සිට පෙරවරු 10.00 දක්වා පැවැත්වෙන අතර, එම කාලය තුළ බොරලැස්ගමුව හන්දියේ සිට බෙල්ලන්තරා හන්දිය දක්වා 119 මහරගම–දෙහිවල බස් මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ.

මහරගම සහ පිළියන්දල සිට දෙහිවල දෙසට ගමන් කරන වාහනවලට පැපිලියාන හන්දිය සහ නෙදිමාල හරහා ගමන් කළ හැකිය. වේරහැර සිට ගාලු පාර දෙසට ගමන් කරන වාහනවලට ගංගාරාම පාර ඔස්සේ විකල්ප මාර්ග භාවිත කළ හැකිය.

රන්සේවිලි පෙරහැර අගෝස්තු 14 වැනිදා රාත්‍රී 8.00ට ආරම්භ වී අගෝස්තු 15 වැනිදා අලුයම 2.00 දක්වා පැවැත්වීමට නියමිතය.

එම පෙරහැර බෙල්ලන්තරා හන්දිය, සෝමරත්න මාවත සහ විහාර මාවත ඔස්සේ ගමන් කරන අවස්ථාවේ 119 බස් මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ. සැහැල්ලු වාහන සඳහා 117 මාර්ගය හරහා විකල්ප ගමන් මාර්ගයක් භාවිත කළ හැකි අතර, බර වාහන සඳහා පැපිලියාන සහ පිළියන්දල හන්දිය හරහා විකල්ප මාර්ග හඳුන්වා දී ඇත.

රන්දෝලි මහා පෙරහැර අගෝස්තු 15 වැනිදා රාත්‍රී 8.00ට ආරම්භ වී අගෝස්තු 16 වැනිදා අලුයම 4.00 දක්වා පැවැත්වේ.

එම කාලය තුළ බොරලැස්ගමුව, බෙල්ලන්තරා සහ නෙදිමාල හන්දියන්හි මෙන්ම අත්තිඩිය පොලිස් පුහුණු විද්‍යාල හන්දියේ සිට පැපිලියාන හන්දිය දක්වා 117 මාර්ගයේද රථවාහන සීමා ක්‍රියාත්මක කෙරේ.

මහරගම සහ පිළියන්දල සිට දෙහිවල දෙසට ගමන් කරන වාහනවලට කොහුවල–කළුබෝවිල මාර්ගය භාවිත කළ හැකි අතර, ගල්කිස්ස සහ රත්මලාන සිට මහරගම දෙසට ගමන් කරන වාහනවලට අත්තිඩිය බේකරි හන්දිය සහ දෙහිවල හරහා විකල්ප මාර්ග භාවිත කළ හැකිය.

හොරණ, පිළියන්දල, කැස්බෑව සහ මහරගම සිට ගාලු පාර දෙසට ගමන් කරන බර වාහන කොහුවල–කළුබෝවිල මාර්ගය භාවිත කරන ලෙසත්, කොළඹ දෙසට ගමන් කරන බර වාහන පිළියන්දල හන්දිය සහ කටුබැද්ද මාර්ගය ඔස්සේ ගමන් කරන ලෙසත් පොලිසිය දැනුම් දී තිබේ.

මෙම රථවාහන සැලැස්මට සහාය දක්වමින් ජනතාව කටයුතු කරන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *