ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනියගේ හදිසි අභාවය සම්බන්ධයෙන් රජය වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සංවේදී ශෝක ප්‍රකාශයක් සිදු කළාය.
ශ්‍රී ලාංකේය සංගීතයේ “ස්වර්ණමය හඬ” ලෙස ජනතා ගෞරවයට පාත්‍ර වූ නන්දා මාලිනියගේ වියෝව පිළිබඳව තමන් දැඩි ලෙස කම්පාවට පත්ව සිටින බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, දශක අටකට ආසන්න කාලයක් සිය අසමසම ගායන කුසලතාවෙන් මෙරට සංගීත හා සංස්කෘතික ක්ෂේත්රය පොහොසත් කළ ඇයගේ වියෝව අසමසම කලා පෞරුෂයක අහිමිවීමක් පමණක් නොව, පරම්පරා ගණනාවක් සතුටේදීත් දුකේදීත් ඇසූ හුරුපුරුදු හඬක නිහඬවීමක් බව සඳහන් කළාය.
“බුදු සාදු මම සඳුන් ගසක් වෙන්නම්” වැනි ළමා වියේ ගී ගැයීම්වල සිට ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ මඟපෙන්වීම යටතේ රන් මුතු දූව චිත්‍රපටය හරහා සිනමා සංගීතයට පිවිසීම දක්වා ඇය පැමිණි ගමන අග්‍රාමාත්‍යවරිය සිහිපත් කළාය.
නන්දා මාලිනියගේ හඬ නිවෙස්, පාසල්, උත්සව සහ ජාතික අවස්ථාවන් තුළ නිරන්තරයෙන් ඇසුණු හඬක් බවත්, ඇයගේ බොහෝ ගීත හුදෙක් අසා සිටි ගීත නොව ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතයේම කොටසක් බවට පත්ව තිබූ බවත් ඇය පැවසුවාය.
නන්දා මාලිනියගේ කලා දිවිය ශ්‍රී ලංකාවේ සංගීත ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් පමණක් නොව, මෙරට සමාජ ව්‍යාපාර සහ මානව හැඟීම් පිළිබිඹු කළ ජීවමාන ප්රකාශනයක් වූ බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
ආදරය සහ විරහව වැනි තේමාවන් ඉක්මවා ගිය ඇය සාමාන්‍ය ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලවලට සිය හඬ ලබාදුන් බවත්, ඒ හේතුවෙන් ඇයගේ ගීත සමාජයේම හඬ බවට පත්වූ බවත් සඳහන් කළාය.
අසාධාරණයට එරෙහිව මෙන්ම සාමය, සහජීවනය, මානුෂීයත්වය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන්ද නන්දා මාලිනිය නිර්භීතව හඬ නැඟූ බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. පවන සහ සත්‍යයේ ගීතය වැනි නිර්මාණ හරහා සමාජයේ වේදනාව වෙනුවෙන් කලාකරුවෙකුගේ හඬ කතා කළ හැකි බවත්, යහපත් අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කළ හැකි බවත් ඇය පෙන්වා දුන් බවද සඳහන් කළාය.
තම පෞද්ගලික මතකයන් සිහිපත් කරමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ නන්දා මාලිනියගේ ගීත පරම්පරා ගණනාවක සතුට, දුක සහ සිතුවිලි සමඟ බැඳී තිබූ බවයි.
ඇයගේ සම්මාන හා ගෞරවයන්ට වඩා සැබෑවටම ඇයගේ උරුමය මැනිය හැක්කේ ජනතාවගේ හදවත් තුළ ඇය දිනාගත් ආදරයෙන් බවද අමරසූරිය මහත්මිය අවධාරණය කළාය.
මීට වසරකට පෙර, නන්දා මාලිනියගේ 82 වැනි උපන්දිනය සැමරීමට සහ ඇයගේ මධුර හඬ පෞද්ගලිකව අසා ඇයට ආදරය හා ගෞරවය පළ කිරීමට තමන්ට අවස්ථාව ලැබුණු බවද අග්‍රාමාත්‍යවරිය සංවේදීව සිහිපත් කළාය.
නන්දා මාලිනියගේ හඬ අද නිහඬ වී ඇතත්, ඇයගේ ගීත, කලා සම්ප්රදාය සහ ජීවිත ආදර්ශය අනාගත පරම්පරාවන්ට තවදුරටත් මඟ පෙන්වනු ඇති බවද ඇය පැවසුවාය.
ශ්‍රී ලාංකේය සංගීතයේ අමරණීය චරිතයක් ලෙස නන්දා මාලිනියට සිය ගැඹුරු ගෞරවය පුද කළ අග්‍රාමාත්‍යවරිය, ඇයගේ දියණියන් දෙදෙනා, පවුලේ සාමාජිකයන් සහ ඇයගේ ගීතයට ආදරය කළ සියලු ශ්‍රී ලාංකිකයන් වෙත සිය ශෝකය පළ කළ අතර, අභාවප්‍රාප්ත ගායන ශිල්පිනියට නිවන් සුව ප්‍රාර්ථනා කළාය.


