දෙමළ- මුස්ලිම් පක්ෂ නායකයන්ට ජනපතිගෙන් ඇරැයුමක්

සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරැයුම් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, මෙම දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලාංකික දිනයේ දැනට සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳව විපක්ෂය නියෝජන කරන දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින් සහ නියෝජිතයන් දැනුවත් කිරීම සහ අදහස්, යෝජනා ලබා ගැනීම වෙනුවෙන්  ජනාධිපති කාර්යාලයේ පැවති හමුවට එක් වෙමිනි.

සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වීමේ අවස්ථාව ලබා දිය යුතු බවත්, අපේ රට කවර හෝ ජාතිවාදී උගුලකට හසුවීමට ඉඩ නොතබන බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන ලෙස සියලුදෙනාට ආරාධනා කළේය.

ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව සියලු ජන කොටස් එක් කර ගනිමින් ‘ශ්‍රී ලාංකික දිනය’ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

සියලු ජාතීන් එක් කර ගනිමින් ශ්‍රී ලංකා දින සැමරුම සංවිධානය කිරීම, මීට සහභාගී වූ සියලු පක්ෂ නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ ඇගයීමට ලක් වූ අතර ඒ හා සම්බන්ධ අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මඟපෙන්වීම අනුව, රජය ක්‍රියාත්මක කර ඇති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සහ රට තුළ ජාතික සහ ආගමික සමගිය ගොඩනැඟීමේ වැඩපිළිවෙළට කොන්දේසි විරහිතව තම සහාය ලබා දෙන බවද මෙහිදී එම නියෝජිතයෝ අවධාරණය කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *