“දූෂණයට සහ දේශපාලන බෙදීම්වලට එරෙහි ජයග්‍රහණයක්” බ්‍රසීල ජනපතිගේ ජය අනුර කුමාර හඳුන්වයි

බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා මැතිවරණ ජයග්‍රහණයක් අත්කරගත් බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහුට සුබපැතුම් එක්කර තිබේ. එම ජයග්‍රහණය දූෂණයට, බෙදීම්වලට සහ දේශපාලන වංකභාවයට එරෙහි ජයග්‍රහණයක් ලෙස ද ඔහු හඳුන්වා දී ඇත.

ජනාධිපතිවරයා සිය නිල ‘X’ ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ බ්‍රසීල ජනතාව මැතිවරණ ජයග්‍රහණයකට වඩා වැඩි දෙයක් අත්කරගෙන ඇති බවයි.

“අද බ්‍රසීල ජනතාව මැතිවරණයක් පමණක් ජයග්‍රහණය කළේ නැහැ. ඔවුන් දූෂණයේ, බෙදීම්වල සහ දේශපාලන බොරුකීම්වල බලවේග පරාජය කළා,” යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

දේශපාලන පවුල් පරම්පරාවන්ට සහ යල් පැන ගිය දේශපාලන බලවේගවලට ජනතාව නොමඟ යැවිය නොහැකි බව ලූලාගේ ජයග්‍රහණයෙන් පෙන්නුම් කරන බව ද ජනාධිපති දිසානායක මහතා වැඩිදුරටත් පවසා ඇත.

“සහෝදර ලූලාගේ (@LulaOficial) ඓතිහාසික ජයග්‍රහණයෙන් පෙන්නුම් කරන්නේ බංකොලොත් දේශපාලන පවුල් පරම්පරාවලට සහ බලය යුක්තියට වඩා උසස් යැයි විශ්වාස කරන අතීතයේ අවතාරවලට ජනතාව රැවටිය නොහැකි බවයි,” යනුවෙන් ඔහු සිය සටහනේ සඳහන් කර තිබේ.

ලුලාට සුබපැතුම් එක්කරමින් ඔහුගේ නායකත්වය ද අගය කළ ජනාධිපතිවරයා, බ්‍රසීලයේ ප්‍රගතිය ඉදිරියට ගෙන යාමට ඔහුට සහාය පළ කර ඇත.

“සහෝදරයා, නැවත වරක් ප්‍රගතියේ ගමනට නායකත්වය දීම වෙනුවෙන් ඔබට උණුසුම් සුබපැතුම්!” යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *