ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති භික්ෂු විරෝධතාව අවසන් වෙයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් පැවැත්වූ විරෝධතාව අවසන් වී තිබේ.

නිකුත් කළ අධිකරණ නියෝගයකට අනුකූලව විරෝධතා ස්ථානයේ ඉදිකර තිබූ තාවකාලික කූඩාරම් ඉවත් කර භික්ෂූන් වහන්සේලා එම ස්ථානයෙන් ඉවත්ව ගිය බව වාර්තා වේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා අද උදෑසන නියෝගයක් නිකුත් කරමින් උලපනේ සුමංගල හිමියන් ඇතුළු 54 දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ රැඳී සිටීම තහනම් කර තිබිණි.

අධිකරණ නියෝගයට ගරු කරමින් විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා තාවකාලික ඉදිකිරීම් ඉවත් කර ඇති බව වාර්තා වේ.

සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් බ්‍රහස්පතින්දා (15) සවස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්වීමත් සමඟ මෙම විරෝධතාව ආරම්භ විය.

භික්ෂූන් වහන්සේලා කිහිප නමක් එදින රාත්‍රිය පුරාද එම ස්ථානයේ රැඳී සිටිමින් සිකුරාදා (16) දිනය දක්වා විරෝධතාව පවත්වාගෙන ගොස් තිබිණි.

විරෝධතාකරුවන් රැඳී සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයට ප්‍රතිවිරුද්ධ පසින්, ගාලු පාර අසල පදික වේදිකාවේය.

ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාව අඛණ්ඩව පැවති අතරතුර අධිකරණය මැදිහත් වීමෙන් පසු තාවකාලික කූඩාරම් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *