ගුවන් නියමුවන් දෙදෙනෙකුගේ දිවි බේරාගත් ශ්‍රී ලාංකිකයන්ට දකුණු කොරියාවේ දිගුකාලීන රැඳී සිටීමේ අවස්ථාව

දකුණු කොරියාවේ බටහිර වෙරළට ඔබ්බෙන් ධීවර බෝට්ටුවක සිටියදී අනතුරට පත් ගුවන් යානයක ගුවන් නියමුවන් දෙදෙනෙකුගේ දිවි බේරාගත් ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් තිදෙනාගෙන් දෙදෙනෙකුට එරට දිගුකාලීනව රැඳී සිටීමට අවස්ථාව හිමිව තිබේ.

දකුණු කොරියානු අධිකරණ අමාත්‍යාංශය සිකුරාදා ප්‍රකාශ කළේ ජීවිත බේරාගැනීම සඳහා ඔවුන් කළ “ජාතික අභිලාෂයට සුවිශේෂී දායකත්වය” සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට නිපුණ ශ්‍රමික වීසා ලබා දී ඇති බවයි. තෙවැනි ශ්‍රී ලාංකිකයාට මේ වනවිටත් දිගුකාලීන පදිංචි තත්ත්වය හිමිව තිබේ.

මෙම වීර ක්‍රියාව සිදුව තිබුණේ 2022 අගෝස්තු 12 වැනිදා සෝල් නුවරට කිලෝමීටර් 45ක් පමණ දකුණින් පිහිටි හ්වාසොං ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදීය.

එහිදී දකුණු කොරියානු ධීවර බෝට්ටුවක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තිදෙනා ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු කහ මුහුදේ සිටි ගුවන් නියමුවන් දෙදෙනෙකු දැක තිබේ.

එන්ජිමේ ගින්නක් හටගැනීමෙන් පසු ප්‍රහාරක ගුවන් යානය මුහුදට කඩා වැටී තිබූ අතර, බෝට්ටුවේ දකුණු කොරියානු කපිතාන්වරයා සමඟ එක්ව ශ්‍රී ලාංකිකයන් තිදෙනා මුහුදට වැටුණු ගුවන් නියමුවන් දෙදෙනා බේරාගෙන ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් තිබේ.

එම අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනාම විදේශීය ශ්‍රමිකයන් සඳහා භාවිත කරන E-9 වීසා යටතේ දකුණු කොරියාවේ රැඳී සිටියහ. එම වීසා යටතේ උපරිම වශයෙන් වසර 4යි මාස 10ක කාලයක් රැඳී සිටීමට අවසර හිමිවේ.

සිකුරාදා E-7-4 නිපුණ ශ්‍රමික තත්ත්වය ලබාගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට මුලින් වසර දෙකක් දකුණු කොරියාවේ රැඳී සිටීමට හැකි වන අතර, ඉන් අනතුරුව සීමාවකින් තොරව වසර දෙක බැගින් වීසා දිගු කරගැනීමට අවස්ථාව හිමි වේ.

ඒ අනුව, ඔවුන්ගේ පෙර පැවති තාවකාලික ශ්‍රමික තත්ත්වයට වඩා ස්ථාවර ලෙස දකුණු කොරියාවේ ජීවත් වීමට මාර්ගයක් විවෘත වී තිබේ.

“අපගේ සමාජයට විශේෂ දායකත්වයක් ලබා දී ඇති විදේශිකයන්ට රට තුළ ස්ථාවරව ජීවත් වීමට හැකි වන පරිදි අපි අඛණ්ඩව සහාය ලබා දෙන්නෙමු,” යනුවෙන් දකුණු කොරියානු අධිකරණ අමාත්‍ය ජුං සොං-හෝ පැවසීය.

මෙම තීරණයට පෙරද ඔවුන් කළ මෙහෙවර ඇගයීමට ලක්ව තිබූ අතර, ගුවන් නියමුවන් දෙදෙනාගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් ඔවුන් තිදෙනාටම මැයි මාසයේදී දකුණු කොරියානු ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානියාගේ ඇගයීම් ලිපියක්ද හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *