50 වැනි ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව සැප්තැම්බර් 13 වැනිදා කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිත කොළඹ මැරතන් 2026 සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,000කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිතය.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන මෙම ජාත්‍යන්තර මට්ටමේ තරගාවලිය සඳහා මේ වනවිට ප්‍රධාන තරග ඉසව් සඳහා තරගකරුවන් 1,200 දෙනෙකු ලියාපදිංචි වී තිබේ.
ඒ අතරින් කිලෝමීටර් 42 පූර්ණ මැරතන් තරගය සඳහා 405 දෙනෙකුද, කිලෝමීටර් 21 අර්ධ මැරතන් තරගය සඳහා 398 දෙනෙකුද, කිලෝමීටර් 10 තරගය සඳහා 389 දෙනෙකුද ලියාපදිංචි වී ඇත.
මීට අමතරව කිලෝමීටර් 5 විනෝදාත්මක ධාවන තරගය සඳහා තවත් ධාවකයන් 4,000කට වැඩි පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව මෙවර කොළඹ මැරතන් තරගාවලිය එහි ඉතිහාසයේ විශාලතම තරගාවලි අතරට එක්වනු ඇතැයි සංවිධායකයෝ පවසති.
මෙවර තරගාවලිය සඳහා ජාත්‍යන්තර වශයෙන්ද ඉහළ උනන්දුවක් පළ වී ඇති අතර, රටවල් 25ක් නියෝජනය කරමින් විදෙස් තරගකරුවන් 130 දෙනෙකු සහභාගී වීමට නියමිතය.
කෙන්යාව සහ ඉතියෝපියාව ඇතුළු රටවල දක්ෂ ධාවකයන්ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ තරගයට එක්වීමට නියමිතය.
තරග මාර්ගද මේ වනවිට අවසන් කර තිබේ.
කිලෝමීටර් 42 පූර්ණ මැරතන් තරගය ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී කොල්ලුපිටිය, මැරීන් ඩ්‍රයිව් සහ දෙහිවල හරහා ගමන් කර වට දෙකක් සම්පූර්ණ කිරීමට නියමිතය.
කිලෝමීටර් 21 අර්ධ මැරතන් තරගය සඳහාද එම මාර්ගයේ එක් වටයක් සම්පූර්ණ කිරීමට නියමිත අතර, කිලෝමීටර් 10 තරගය බම්බලපිටිය දක්වා ගමන් කර නැවත ආරම්භක ස්ථානය වෙත පැමිණෙන පරිදි සංවිධානය කර ඇත.
කිලෝමීටර් 5 විනෝදාත්මක ධාවන තරගය කොල්ලුපිටිය මංසන්ධිය වටා ගමන් කර ලිබර්ටි සිනමාහල සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ස්ථාන පසුකරමින් පැවැත්වීමට නියමිතය.
ප්‍රධාන තරග ඉසව් සඳහා තරගකරුවන්ගේ BIB අංක සහ ටී ෂර්ට් සැප්තැම්බර් 12 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 3.00 දක්වා කොළඹ 07, රේස්කෝස් පිටියේදී නිකුත් කිරීමට නියමිතය.
විනෝදාත්මක ධාවන තරගය සඳහා ලියාපදිංචි වීම සහ තරග කට්ටල ලබාගැනීම සැප්තැම්බර් 13 වැනිදා අලුයම 4.00 සිට 5.30 දක්වා ගාලු මුවදොර පිටියේ බාලදක්ෂ මාවත පිවිසුම අසලදී සිදුකෙරේ.
සියලුම තරගකරුවන් තරග කට්ටල ලබාගැනීමේදී ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කළ යුතුය.
එමෙන්ම තරගය පැවැත්වීමට පෙර සති හතරක කාලය තුළ ලබාගත් වෛද්‍ය යෝග්‍යතා සහතිකයක්ද ඉදිරිපත් කිරීම අනිවාර්ය බව සංවිධායකයෝ සඳහන් කරති.



