කොළඹ බස් ප්‍රමුඛතා මංතීරු නීති 29 සිට සිට දැඩිව ක්‍රියාත්මකයි

කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල බස් ප්‍රමුඛතා මංතීරු සම්බන්ධ නීති 29 සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

කාර්යබහුල වේලාවන්හි රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව Metro Bus සභාපති එස්.එම්.යූ.පී. තිලකරත්න මහතා සඳහන් කළේය.

බස්නාහිර පළාතේ බස් ප්‍රමුඛතා මංතීරු 7ක් මෙම වැඩපිළිවෙළට ඇතුළත් වන අතර, රථවාහන තදබදය අවම කරමින් මගීන්ට ආරක්ෂිතව සහ නියමිත වේලාවට තම ගමනාන්ත වෙත ළඟාවීමට අවස්ථාව සැලසීම මෙහි අරමුණ බව ඔහු පැවසීය.

කොළඹට ගමන් කරන මගීන්ගේ පහසුව සඳහා සැප්තැම්බර් 29 වැනිදා සිට Metro ආයතනය මගින් සුඛෝපභෝගී බස් රථ 104ක්ද මෙම සේවයට එක් කිරීමට නියමිත බව තිලකරත්න මහතා සඳහන් කළේය.

පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කළේ බස් ප්‍රමුඛතා මංතීරු පෙරවරු 6.00 සිට 9.00 දක්වාත්, පස්වරු 4.00 සිට 7.00 දක්වාත් ක්‍රියාත්මක වන බවයි.

එම කාලසීමාවන් තුළ වෙනත් වාහන සඳහා එම බස් ප්‍රමුඛතා මංතීරුවල ගමන් කිරීම හෝ වාහන නවතා තැබීම අවසර නොලැබෙන බවද ඔහු පැවසීය.

හදිසි අවස්ථාවක් හෝ අනතුරක් වළක්වා ගැනීම සඳහා, දැඩි රථවාහන තදබදයක් හේතුවෙන් හෝ අවශ්‍ය ස්ථානයකදී හැරීමක් සිදුකිරීම සඳහා පමණක් වෙනත් වාහනවලට එම මංතීරුවලට ඇතුළුවීමට හැකි බව රණගල මහතා සඳහන් කළේය.

මෙම බස් ප්‍රමුඛතා මංතීරු Metro බස් රථ සඳහා පමණක් නොව අනෙකුත් මගී ප්‍රවාහන බස් රථ සඳහාද භාවිත කළ හැකි බව ඔහු පැවසීය.

නීති උල්ලංඝනය කරමින් බස් ප්‍රමුඛතා මංතීරු භාවිත කරන රියැදුරන් සම්බන්ධයෙන් පොලිසිය දැඩි පරීක්ෂා කිරීම් සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද සහකාර පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *