Wednesday, 4 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

“කාන්තා අයිතීන් ගැන දැනුම ලබන්න භාෂාව බාධාවක් නොවිය යුතුයි”: එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සිංහලට සහ දෙමළට පෙරළෙයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (UN Security Council) විසින් සම්මත කරන ලද “කාන්තාව, සාමය සහ ආරක්ෂාව” (Women, Peace and Security) පිළිබඳ යෝජනාවල නිල නොවන සිංහල සහ දෙමළ පරිවර්තන එළිදැක්වීම, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) බත්තරමුල්ලේදී පැවැත්විණි.

පසුගිය ඔක්තෝබර් 31 වැනි දිනට යෙදුණු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 1325 දරන ඓතිහාසික යෝජනාවේ 26 වැනි සංවත්සරයට සමගාමීව මෙම එළිදැක්වීම සංවිධානය කර තිබිණි. ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රමුඛ කැනඩා රජයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව, ‘සාමය සඳහා මාවත්’ (Pathways to Peace) සංවිධානය විසින් මෙම පරිවර්තනයන් සිදුකර මුද්‍රිත පිටපත් මෙහිදී නිල වශයෙන් පිළිගන්වන ලදී.

“කාන්තාව, සාමය සහ ආරක්ෂාව” පිළිබඳ න්‍යායපත්‍රය යනු සන්නද්ධ ගැටුම් සහ යුදමය වාතාවරණයන් හමුවේ කාන්තාවන් සහ ගැහැනු ළමයින් මුහුණ දෙන සුවිශේෂී අභියෝග නිවැරදිව හඳුනාගැනීමත්, සාමය ගොඩනැගීම, ගැටුම් වැළැක්වීම සහ ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රියාවලීන් සඳහා කාන්තාවන්ගේ සමාන හා සක්‍රීය සහභාගීත්වය තහවුරු කිරීමත් අරමුණු කරගත් ජාත්‍යන්තර ප්‍රතිපත්තිමය රාමුවකි.

1325 යෝජනාවේ වැදගත්කම

2000 ඔක්තෝබර් 31 වැනි දින සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1325 දරන යෝජනාව මඟින් ගැටුම් වැළැක්වීම, ගැටුම් නිරාකරණය, සාම සාකච්ඡා සහ සාමය තහවුරු කිරීමේ ක්‍රියාවලීන්හිදී කාන්තා නායකත්වය සහ සහභාගීත්වයේ අත්‍යවශ්‍ය භූමිකාව අවධාරණය කෙරේ.

සන්නද්ධ ගැටුම්වලදී කාන්තාවන් සහ ගැහැනු ළමයින් ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා කිරීම, ලිංගික සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් වැළැක්වීම මෙන්ම සහන සැලසීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතුවලදී කාන්තා අවශ්‍යතාවන් සැලකිල්ලට ගැනීම මෙම න්‍යායපත්‍රයේ ප්‍රධාන අරමුණු අතර වේ.

“දැනුමට භාෂාව බාධාවක් නොවිය යුතුයි”

මෙම අවස්ථාව අමතමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, ජාත්‍යන්තර ප්‍රතිපත්ති, සම්මුතීන් සහ තීරණ පිළිබඳ දැනුම කිසිදු භාෂා බාධාවකින් තොරව ලබාගැනීමට ඉඩප්‍රස්ථා සැලසීම, කාන්තා අයිතිවාසිකම් පිළිබඳ පුළුල් සමාජ දැනුවත්භාවයක් ඇතිකිරීමටත්, සාමය සහ ආරක්ෂාව පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට කාන්තා සක්‍රීය දායකත්වය පුළුල් කිරීමටත් තබන ලද සුවිශේෂී පියවරක් බවයි.

දැනුම ලබාගැනීමට කිසිදු භාෂාවක් බාධාවක් නොවිය යුතු බව අවධාරණය කළ අමාත්‍යවරිය, සාධාරණත්වය, සමානාත්මතාව සහ සක්‍රීය මහජන සහභාගීත්වය තුළින් සාමකාමී සමාජයක් ගොඩනැගීම සැමගේ සාමූහික වගකීමක් බවද වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

ඔබේ අදහස