පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, නොවැම්බර් මාසයේ පළමු සතිය සඳහා නියමිත පාර්ලිමේන්තු කටයුතුවලට මෙම විවාදය ඇතුළත් කර ඇත.
ඔක්තෝබර් 23 වැනිදා කථානායක ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී සකස් කළ න්යාය පත්රයට අනුව, නොවැම්බර් 3 සිට 6 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
නොවැම්බර් 4 වැනි බදාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2508/27 දරන අතිවිශේෂ ගැසට් පත්රයේ පළ කළ රෙගුලාසි සහ පරිපූරක ඇස්තමේන්තුවක් පිළිබඳ විවාදය පැවැත්වේ.
ඉන් අනතුරුව, පස්වරු 5.00 සිට 5.30 දක්වා රජය විසින් ඉදිරිපත් කරනු ලබන කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතය.
නොවැම්බර් 5 වැනි බ්රහස්පතින්දා පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා රජය ඉදිරිපත් කරන තවත් කල් තැබීමේ යෝජනාවක් පිළිබඳ විවාදය පැවැත්වීමට සැලසුම් කර තිබේ.
නොවැම්බර් 6 වැනි සිකුරාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පෞද්ගලික මන්ත්රී යෝජනා කිහිපයක් විවාදයට ගැනීමට නියමිතය.
ඒ අතරට පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර වැඩි කිරීම, මාර්ග රක්ෂිතවල ගස් සිටුවීම සහ ඒවා නඩත්තු කිරීම සඳහා විධිමත් වැඩසටහනක් හඳුන්වාදීම සහ ශ්රී ලංකාවේ සියලුම අධ්යාපන විද්යාපීඨ විශ්වවිද්යාල පීඨ බවට පත් කිරීමේ යෝජනා ඇතුළත් වේ.
මීට අමතරව, ස්මාර්ට් විදුලි ජාල සහ ස්මාර්ට් මීටර් හඳුන්වාදීම, පිහිනුම් හැකියාව වැඩිදියුණු කිරීම, උඩවලව සංචාරක කලාපයක් ලෙස නම් කිරීම සහ ජපන් ජබර ව්යාප්තිය පාලනය කිරීම සම්බන්ධ යෝජනා ද විවාදයට ගැනීමට නියමිතය.
එදින පස්වරු 5.00 සිට 5.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන කල් තැබීමේ යෝජනාවක් ද විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.
පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනයකම පෙරවරු 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග 22(1) සිට 22(6) දක්වා යටතේ වන කටයුතු සඳහා කාලය වෙන් කර තිබේ. පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහාත්, පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ඉදිරිපත් කරන ප්රශ්න සඳහාත් කාලය වෙන් කර ඇත.


