කථානායකගේ විශ්වාසභංගය නිසා පාර්ලිමේන්තුව උණුසුම්

කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ඇතුළු වරප්‍රසාද ගැටලු කිහිපයක් සභාව හමුවේ මතුකිරීමට නියෝජ්‍ය කථානායක රිස්වි සාලිහ් මහතා ක්ෂණිකව අවසර ලබා නොදීම හේතුවෙන් ඊයේ (03) පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තේය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් නැගූ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළේ, මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද වරප්‍රසාද ගැටලුවල පිටපත් තමන් වෙත ලැබුණේ පෙරවරු 9.00න් පසුව බවයි. එම කරුණු මෙතෙක් තමන් විසින් අධ්‍යයනය කර නොමැති බැවින්, ඒවා සභාවට ඉදිරිපත් කිරීමට එම අවස්ථාවේදීම අවසර දීමට නොහැකි බව හෙතෙම පැහැදිලි කළේය.
“විශ්වාසභංගය විවාදයට නොදීම ප්රජාතන්ත්ර විරෝධීයි” – සජිත්
මෙහිදී නැගී සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කිරීම මඟින් පාර්ලිමේන්තු වරප්‍රසාද මෙන්ම මූලික ප්රජාතන්ත්රවාදී මූලධර්ම බරපතළ ලෙස උල්ලංඝනය වන බවට චෝදනා කළේය.
විපක්ෂ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුතුව චෝදනා 50ක් ඇතුළත් මෙම විශ්වාසභංග යෝජනාව පසුගිය ඔක්තෝබර් 09 වැනිදා පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාරදුන් බවත්, එය ඔක්තෝබර් 12 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට (Order Book) ඇතුළත් කර තිබූ බවත් ඔහු පෙන්වා දුන්නේය. කෙසේවෙතත්, පසුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ගත් තීරණයකට අනුව එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා ඒ පිළිබඳ විවාද කිරීමට විපක්ෂයට තිබූ අවස්ථාව අහිමි කර ඇති බව විපක්ෂ නායකවරයා කීවේය.
කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අපක්ෂපාතීව කටයුතු කිරීමට බැඳී සිටින බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා, මෙම යෝජනාව විවාදයට ගැනීම වැළැක්වීම හරහා කථානායකවරයාගේ ස්වාධීනත්වය, පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්රකාශනයේ නිදහස බරපතළ ලෙස සීමා වී ඇති බව සඳහන් කළේය. එබැවින් මෙම ප්‍රතික්ෂේප කිරීම මඟින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇත්දැයි විමර්ශනයක් පවත්වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
සභාවේ උණුසුම මැද ආණ්ඩුවේ න්‍යාය පත්‍රය ඉදිරියට
විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් නියෝජ්‍ය කථානායකවරයාගේ තීරණයට එරෙහිව දැඩි ලෙස විරෝධය පළකිරීම නිසා සභාව තුළ උණුසුම් වාද විවාද හටගත්තේය.
අදාළ වරප්‍රසාද ගැටලු සලකා බලා දිනය තුළදී ඒ පිළිබඳ ස්ථාවරය ප්‍රකාශ කරන බවට නියෝජ්‍ය කථානායකවරයා සහතික වුවද, විපක්ෂය දිගින් දිගටම විරෝධය පළකළ අතර, ආණ්ඩු පක්ෂය එම විරෝධතා මධ්‍යයේම නියමිත දෛනික පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට කරගෙන යාමට පියවර ගත්තේය.




