අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.
විශේෂ මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන තෙක් නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරයේ තවදුරටත් රඳවා තබන ලෙසද මහේස්ත්රාත්වරයා නියෝග කළේය. නඩු විභාගයේ ප්රගතිය පිළිබඳ වාර්තාවක් ඔක්තෝබර් 30 වැනිදා මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියම කෙරිණි.
එයාර්බස් ගනුදෙනුවට අදාළව මුදල් විශුද්ධිකරණය සහ රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධ චෝදනා මත නාමල් රාජපක්ෂ මහතාට සහ තවත් පුද්ගලයන් තිදෙනෙකුට එරෙහිව ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.
අද පැවති නඩු විභාගයේදී නියෝජ්ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේ අගවිනිසුරුවරයාගේ අනුමැතිය සහිතව අදාළ අධිචෝදනා ගොනු කර ඇති බවයි.
එම අධිචෝදනා පත්රයට චෝදනා 24ක් ඇතුළත් වන අතර, සාක්ෂිකරුවන් 59 දෙනෙකුගේ නම් ද එහි සඳහන් වන බව නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම නඩුව ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය වෙත යොමු කිරීමෙන් පසුව, කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩුව විභාගයට ගැනෙන අවසන් අවස්ථාව අද දිනය වනු ඇතැයි ද නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.


