Tuesday, 3 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

“එජාපයයි සජබයයි එකතු වුණත් දිනන්න බෑ; අද දේශපාලනය වෙනස් වෙලා!”: රනිල්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

එක්සත් ජාතික පක්ෂය (UNP) සහ සමගි ජන බලවේගය (SJB) එක්ව සන්ධානයක් ගොඩනැගූ පමණින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කළ හැකි බවට කිසිසේත්ම අදහස් නොවන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් අමතමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, වර්තමානයේ රටේ සහ ලෝකයේ දේශපාලන ක්‍රමවේදය සහ මහජන චින්තනය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවයි.

“එජාප – සජබ සන්ධානයක් දේශපාලන වශයෙන් සාර්ථක වනු ඇතැයි සහ එමඟින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කළ හැකි යැයි ඇතැම් පාර්ශ්ව අපේක්ෂා කරනවා. නමුත් එවැනි අපේක්ෂාවක් සම්පූර්ණයෙන්ම වැරදි විය හැකියි. මොකද අද දේශපාලනය මුළුමනින්ම වෙනස් වී තිබෙනවා,” යනුවෙන් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

‘Gen Z’ සහ ‘මිලේනියල්’ පරපුරේ සිතුවිලි

වර්තමාන දේශපාලනයේ ඉදිරියට යාමට නම් ‘මිලේනියල්’ (Millennials) සහ ‘Gen Z’ පරපුරේ චින්තන රටාවන් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බව පැවසූ හිටපු ජනාධිපතිවරයා, තමන් එම පරපුරේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කළ බවද සිහිපත් කළේය. පක්ෂයේ දේශපාලන හා සංවිධාන කටයුතු සම්පූර්ණයෙන්ම ඩිජිටල් හා මාර්ගගත (Online) තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක විය යුතු බව ඔවුන්ගේ අදහස වී ඇත.

“අවුරුදු පහේ කාලසීමාවන් සඳහා ඡන්ද ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් කරන පැරණි යුගය ළඟදීම අවසන් වෙනවා. ඒ වෙනුවට දීර්ඝ කාලසීමාවන් ඉලක්ක කරගනිමින් ප්‍රතිපත්ති සකස් කළ යුතුයි. සැබවින්ම ප්‍රතිපත්ති සැලසුම් කළ යුත්තේ ඉදිරි වසර 25ක කාලය වෙනුවෙනුයි. එක්සත් ජාතික පක්ෂය එවැනි දැවැන්ත ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා මේ වන විට සූදානම් වෙමින් සිටිනවා,” යනුවෙන් ඔහු පැවසීය.

තරුණ නැගිටීම් සහ විදෙස්ගත වීමේ ප්‍රවණතාව

මිලේනියල් සහ Gen Z පරපුරට සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ හෝ පරණ තාලේ දේශපාලනය පිළිබඳ නිශ්චිත දැනුමක් නොමැති වුවද, ඉදිරි මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට නම් ඕනෑම පක්ෂයක් විසින් මෙම තරුණ පරපුර ආකර්ෂණය කරගත යුතු බව ඔහු අවධාරණය කළේය.

වත්මන් රජය සිය බලාපොරොත්තු සහ අපේක්ෂාවන් ඉටුකිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම පරපුරේ සැලකිය යුතු පිරිසක් රට හැර විදේශගත වීමේ දැඩි අවදානමක් පවතින බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඇතිවූ ‘අරගලය’ පිටුපස සිටියේද, මෑතකදී බංග්ලාදේශයේ ඇතිවූ ආණ්ඩු පෙරළියේ විරෝධතා පිටුපස සිටියේද මෙම නව පරපුර බව ඔහු සිහිපත් කළේය.

නව පරපුරේ අපේක්ෂාවන්ට ගැළපෙන පරිදි, ඔවුන්ව දේශපාලනිකව ආකර්ෂණය කරගත හැකි නවීන පක්ෂයක් බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී විධිමත්ව ප්‍රතිසංවිධානය කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඔබේ අදහස