හිස් ඉරාන තෙල් නෞකා 20කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ නිරිතදිග වෙරළේ සිට නාවික සැතපුම් 15ක් පමණ දුරින් අතරමංව සිටින බව වාර්තා වේ. ඇමරිකානු සම්බාධක සහ නාවික සීමා දැඩි කිරීමත් සමඟ එම නෞකා කිහිපයක ආහාර, ඉන්ධන සහ පානීය ජලය හිඟ වී ඇති බව ද වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා කරයි.
බ්‍රහස්පතින්දා (01) පළ වූ එම වාර්තාවට අනුව, අතරමංව සිටින නෞකා සහ ඒවායේ කාර්ය මණ්ඩල සඳහා අත්‍යවශ්‍ය සැපයුම් ලබාදීමෙන් වළකින ලෙස ඇමරිකානු නිලධාරීන් පසුගිය සති කිහිපයේදී ශ්‍රී ලංකාවට බලපෑම් කර තිබේ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ලේඛන සහ එම නෞකා වෙත සැපයුම් ලබාදීමට සම්බන්ධ සමාගම්වල තොරතුරු උපුටා දක්වමින් වෝල් ස්ට්‍රීට් ජර්නල් මේ බව වාර්තා කර ඇත.
මෙම තත්ත්වය ඇතිවී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය ජූලි මාසයේදී හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් සිය නාවික අවහිරතා යළි ක්‍රියාත්මක කිරීමෙන් පසුවය. එමගින් සම්බාධක පනවා ඇති ඉරාන තෙල් චීනය වෙත ප්‍රවාහනය කිරීමට සම්බන්ධ ඉරාන සහ ඉරානයට සම්බන්ධ නෞකා දුසිම් ගණනක් ශ්‍රී ලංකාව සහ මැලේසියාව ඇතුළු ආසියානු රටවල් ආසන්නයේ අතරමංව ඇති බව වාර්තා වේ.
එම නෞකා බොහෝමයක් මීට පෙර ඉරාන බොරතෙල් ආසියාව වෙත ප්‍රවාහනය කළ හිස් තෙල් නෞකා වන අතර, ඒවා බොහෝ අවස්ථාවල නෞකාවෙන් නෞකාවට සිදුකරන තෙල් හුවමාරු ක්‍රමය හරහා තෙල් ප්‍රවාහනය කර තිබේ. අනතුරුව තවත් තෙල් තොගයක් ලබාගැනීම සඳහා ඉරානය වෙත ආපසු යාමට උත්සාහ කිරීමේදී මෙම නෞකා අතරමංව ඇති බව වාර්තා වේ.
වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තාවට අනුව, ඇමරිකානු තානාපති කාර්යාලය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත්තේ මෙරට බටහිර වෙරළට ඔබ්බෙන් ඉරාන තෙල් නෞකා 19ක් තමන් නිරීක්ෂණය කරමින් සිටින බවයි. සම්බාධකවලට යටත් නෞකා වෙත සේවා සපයන සමාගම්වලට එරෙහිව ද්විතීයික සම්බාධක පැනවීමේ හැකියාව පිළිබඳවද ඇමරිකානු පාර්ශ්වය එහිදී අවධානය යොමු කර තිබේ.
කෙසේ වෙතත්, එම නෞකා ශ්‍රී ලංකාවේ නාවික සැතපුම් 12ක භෞමික මුහුදු සීමාවෙන් පිටත ස්ථානගතව ඇති බව ශ්‍රී ලංකා රජය පසුව ප්‍රකාශ කර තිබේ. එම නෞකා සඳහා රජය කිසිදු සැපයුම් සහායක් ලබා නොදෙන බවද ශ්‍රී ලංකාව අවධාරණය කර ඇත.
මේ අතර, ආහාර, පානීය ජලය, ඉන්ධන සහ අලුත්වැඩියා සේවා ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් ඉරාන නෞකා වෙත ලබාදීම සඳහා අවසර ලබාගැනීම වඩ වඩාත් දුෂ්කර වී ඇති බව නාවික ප්‍රවාහන සමාගම් වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙත පවසා තිබේ.
වෙනම වාර්තාවක් නිකුත් කරමින් රොයිටර්ස් පුවත් සේවයද අගෝස්තු අගදී සඳහන් කර තිබුණේ සම්බාධකවලට යටත් ඉරානයට සම්බන්ධ නෞකා 27ක් භාණ්ඩ රහිතව ශ්‍රී ලංකාවට ඔබ්බෙන් රැඳී සිටින බවයි.
මේ අතර, ට්‍රම්ප් පරිපාලනය ඉරානයට එරෙහිව තවදුරටත් සම්බාධක හඳුන්වා දී ඇති අතර, ඉරානය සමඟ පවතින සබඳතා නවත්වන ලෙස එරට වෙළෙඳ හවුල්කරුවන්ට අනතුරු අඟවා තිබේ. දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය මධ්‍යයේ ඉරානයෙන් සහන ලබාගැනීම සඳහා ටෙහෙරානයට පීඩනය එල්ල කිරීම ඇමරිකාවේ අරමුණ වී තිබේ.
ඉරාන බොරතෙල් ප්‍රධාන වශයෙන් චීනය වෙත යැවීම සඳහා නෞකාවෙන් නෞකාවට තෙල් හුවමාරු කිරීමේ කටයුතු සඳහා ඓතිහාසිකව භාවිත කළ මැලේසියාව ආසන්න මුහුදු ප්රදේශවලද ඉරානයට සම්බන්ධ නෞකා විශාල සංඛ්‍යාවක් එක්රැස්ව ඇති බව වාර්තා වේ.


