හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය සැලසුම් කර ඇති විරෝධතා පාගමනකට පෙර බලධාරීන් විසින් ට්‍රක් රථ සහ භාණ්ඩ කන්ටේනර් අත්පත් කරගනු ඇතැයි පවතින බිය හේතුවෙන් ප්‍රවාහනකරුවන් උතුරු ප්‍රදේශ වෙත ගමන් කිරීමෙන් වැළකී සිටීමත් සමඟ පාකිස්තානයේ ප්‍රධාන වරාය වන කරච්චි වරායේ භාණ්ඩ කන්ටේනර් ගොඩගැසෙමින් පවතී.
රොයිටර්ස් වාර්තා කරන පරිදි, ඔක්තෝබර් 4 වැනිදා පැවැත්වීමට නියමිත PTI පාගමනට පෙර ඉස්ලාමාබාද් වෙත ප්‍රවේශය සීමා කිරීමට බලධාරීන් සූදානම් වෙමින් සිටින අතර, සැප්තැම්බර් මාසයේදී පොලිසිය වාහන 2,000කට වැඩි සංඛ්‍යාවක් අත්පත් කරගෙන තිබේ.
වැලි පුරවා එකිනෙක වෙල්ඩින් කර සම්බන්ධ කළ කන්ටේනර් ඇතුළු කන්ටේනර් රැසක් ඉස්ලාමාබාද් අගනුවරට පිවිසෙන මාර්ග ඔස්සේ ස්ථානගත කර ඇත්තේ මාර්ග බාධක ලෙස භාවිත කිරීම සඳහාය.
2023 වසරේ සිට සිරගතව සිටින ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාව සැලසුම් කර තිබේ.
ප්‍රවාහනකරුවන් සඳහන් කර ඇත්තේ තම වාහන බලධාරීන් විසින් අත්පත් කරගනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇතැම් රියැදුරන් පන්ජාබ් සහ ඉස්ලාමාබාද් දෙසට ගමන් කිරීම නතර කර ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස කරච්චි වරායේ කන්ටේනර් ගොඩගැසීමත්, භාණ්ඩ ප්‍රවාහනයට බාධා ඇතිවීමත් සිදුව තිබේ.
මෙම බාධාව ඉස්ලාමාබාද්, රාවල්පිණ්ඩි, ජෙලම්, පෙෂාවර් සහ ඇටොක් වෙත යන මාර්ගවලට බලපා ඇති අතර, ඇතැම් ප්‍රවාහන සමාගම් ගුජ්රන්වාලා නගරයෙන් ඔබ්බට ගමන් කිරීම නතර කර හෝ විකල්ප මාර්ග භාවිත කිරීමට පියවර ගෙන තිබේ.
ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියෝජිතයන් සඳහන් කර ඇත්තේ මෙම තත්ත්වය හේතුවෙන් මූල්‍ය බලපෑමද ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි. අත්පත් කරගනු ලබන කන්ටේනරයක් සඳහා දිනකට පාකිස්තාන රුපියල් 30,000ත් 40,000ත් අතර, එනම් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 110ත් 150ත් අතර මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස ගෙවීමට සිදුවිය හැකි බව ඔවුහු පෙන්වා දෙති.
භාණ්ඩ බෙදාහැරීම් ප්‍රමාද වීමෙන් සිදුවන පාඩු, භාවිතයට නොගත් ට්‍රක් රථ සඳහා දැරීමට සිදුවන වියදම් සහ ජාත්‍යන්තර නැව් සමාගම් වෙත ගෙවිය යුතු මුදල්වලට අමතරව මෙම වියදම් දැරීමට සිදුව ඇති බවද ප්‍රවාහනකරුවෝ සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් අදහස් ලබාගැනීම සඳහා රොයිටර්ස් කළ ඉල්ලීම්වලට පාකිස්තාන අභ්‍යන්තර කටයුතු, තොරතුරු, වාණිජ සහ මුදල් අමාත්‍යාංශ මෙන්ම පන්ජාබ් පොලිසිය සහ පන්ජාබ් පළාත් අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රතිචාර දක්වා නොමැත.


