ඉන්දීය නාවික හමුදාවේ පුහුණු නෞකා තුනක් ශ්‍රී ලංකාවට

ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් INS Tir, INS Sujata සහ ICGS Sarathi නෞකා තුන අද (ඔක්තෝබර් 26) නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

නාවික සම්ප්‍රදායන්ට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකා පිළිගනු ලැබීය. නෞකා තුනෙහි පුහුණුව ලබමින් සිටින නිලධාරී අභ්‍යාසලාභීන් 135 දෙනෙකු ද මෙම සංචාරයට එක්ව සිටිති.

මීටර් 107ක් දිග පුහුණු නෞකාවක් වන INS Tir නෞකාව කපිතාන් ටිජෝ කේ. ජෝසප්ගේ අණ යටතේ ද, මීටර් 103ක් දිග මුහුදු සීමා මුර සංචාරක නෞකාවක් වන INS Sujata නෞකාව කමාන්ඩර් ජිෂ්නු මාධවන්ගේ අණ යටතේ ද, මීටර් 105ක් දිග මුහුදු සීමා මුර සංචාරක නෞකාවක් වන ICGS Sarathi නෞකාව කමාන්ඩන්ට් කුන්දන් සිංගේ අණ යටතේ ද ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව එම නෞකාවල අණදෙන නිලධාරීන් බටහිර නාවික විධානයේ මූලස්ථානයේදී බටහිර නාවික ප්‍රදේශයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මහතා හමුවී තිබේ. එහිදී මෙම සංචාරය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකර ඇත.

මෙම සංචාරය අතරතුර ඉන්දීය නාවිකයන් සහ පුහුණු අභ්‍යාසලාභීන්, දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරන ඒකාබද්ධ වැඩසටහන්වලට සහභාගී වීමට නියමිතය.

එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන්ට ඉන්දීය නෞකාවල පුහුණු පහසුකම් නිරීක්ෂණය කිරීමට සහ මෙහෙයුම් අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව හිමිවන අතර, ඉන්දීය නාවික කණ්ඩායම දිවයිනේ විවිධ ප්‍රදේශවල සංස්කෘතික සංචාරවල ද නිරත වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *