ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 සිට 10 දක්වා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මෙම සංචාරය අතරතුරදී සිං මහතා ශ්‍රී ලංකා නායකයන් සමඟ කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටත්, කොළඹදී ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය ප්‍රජාවේ සාමාජිකයන් හමුවීමටත් නියමිතය.
ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ දූත පිරිසක්ද ඔහු සමඟ මෙම සංචාරයට එක්වනු ඇත.
මෙම සංචාරය මගින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන අතර, විශේෂයෙන් නාවික ආරක්ෂාව සහ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමුවනු ඇති බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්දියාව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතාව දිගුකාලීන ශිෂ්ටාචාරමය සබඳතා මත ගොඩනැගී ඇති අතර, කලාපීය ආරක්ෂාව, ආරක්ෂක සහයෝගීතාව, ආර්ථික හා වෙළෙඳ සබඳතා මෙන්ම දෙරටේ ජනතාව අතර ශක්තිමත් සබඳතා දක්වා එය විහිදී ඇති බවයි.
ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය අතරතුර ඉන්දියාව ලබාදුන් සහාය සහ 2025 වසරේ ඩිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට ලබාදුන් සහායද ඉන්දියාවේ “අසල්වැසියාට ප්‍රමුඛත්වය” (Neighbourhood First) ප්‍රතිපත්තියේ උදාහරණ ලෙස ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.
ඉන්දියන් සාගර කලාපය තුළ නාවික සහ ආරක්ෂක හවුල්කාරීත්වය තවදුරටත් ගැඹුරු කිරීම සඳහා දෙරටම අඛණ්ඩව කටයුතු කරමින් සිටින පසුබිමක ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම සංචාරය සිදුවීම විශේෂත්වයකි.


